ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
අපේ ඉතිහාසය ගැන අපේ ශ්‍රේෂ්ඨත්වය ගැන අපි කොයි තරම් උදම් ඇනුවත් ලෝකයේ වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රටවල් අතරේ අපි ඉන්නේ දෙවැනි තැන. ඒ අතින් අපි වාර්තාවක් පිහිටුවලා තියෙනවා. මේ නොබෝදා පහේ ශිෂ්‍යත්වයෙන් අසමත්වුණා කියල වයස අවුරුදු දහයක දරුවෙක් බෙල්ලෙ වැලදාගත්ත. විභාගය කියන්නේ ජීවිතය නොවෙයි. ඇයි මේ දරුවන්ට මෙහෙම වෙන්නේ? දරුවන්ට වඩා අද උගන්වන්න වෙලා තියෙන්නේ අම්මලා තාත්තලාට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ 26දා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි තෙමහල් නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. ජාතියේ දරුපරපුර ගුණ නුවණින් පිරිපුන් පිරිසක් කිරීමේ අරමුණින් අත්තනගල්ල රජ මහා විහාරාධිපති මහෝපාධ්‍යය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් තම විදේශීය හිතවතුන්ගේ මුල්‍යාධාරයෙන් ආරම්භ කර ඇති පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 12වැනි ගොඩනැගිල්ල මෙය වේ. වැය කර ඇතිමුදල රු. ලක්ෂ 260කි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් මුලසුන දැරූ උත්සව සභාව අමතා ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ වැදගත් අවස්ථාවට සහභාගිවීමට මට කරන ලද ආරාධනය පිළිබඳව විදුහල්පතිතුමාට, ආචාර්ය මණ්ඩලයට, මව්පියන්ට, දරුවන්ට මේ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.
සංඝබෝධි විද්‍යාලය කීර්තිමත් විද්‍යාලයක්. මේ විද්‍යාලය ඉදිරිපිට පාරේ මා එහා මෙහා ගිය වාර ගණන මගේ මතකයේ නෑ. ඒ හැමවිටම මේ විද්‍යාලය, එහි දරුවන් මගේ මතකයට එනවා. අද ඔබට මේ පරිත්‍යාගය ගරු පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් වෙතින් ලැබීම පිළිබඳව අපි සෑම කෙනෙක්ම උන්වහන්සේට පින් දිය යුතු වෙනවා. දරුවන්ගේ අනාගතය සඳහා උන්වහන්සේ විසින් කරන්නාවූ මේ පරිත්‍යාගශීලී කැපවීම අපි අගය කරනවා වගේම, පින් දෙනවා වගේම, උන්වහන්සේට තවතවත් නිරෝගී සුවය පතමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, මේ වගේ සේවාවන් තවතවත් මාතෘභූමියට කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා.
අපි අද ජීවත්වන්නේ අධි තාක්ෂණික ලෝකයකයි. අතේ තියෙන ජංගම දුරකතනය ගෙදර කාමරයේ සිට ලෝකය දකින ඔබ එහි සිදුවන වෙනස්කම් පරිවර්තනයන් වටහා ගන්නවා. දේශපාලනයේ නව ක්‍රමවේදයන්, සංවර්ධන විපර්යාස, සමාජ ආර්ථික ගැටලු දේශගුණික තත්ත්වයන් පිළිබඳව ඔබ දැනුවත් වෙනවා. ඔබේ වයස් සීමාවේ මා සිටියාට වඩා අද ඔබ සිටින්නේ ඉතාමත් ඉහළ තැනකයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ දරුවන් විභාගයට මුහුණ දෙන විටයි. විභාගය ඔබ සමත්විය යුතුයි. ඒ සඳහා කැපවිය යුතුයි. එහෙත් විභාගය සමඟ ඉන් එහා ජීවිතය සමග එන අභියෝගය, තරගකාරිත්වය ජයගැනීමත් අවශ්‍යයි.
එතැනදී මව්පියන් විසින් දරුවන්ට දිය යුතු මග පෙන්වීම නිසි පරිදි නොලැබෙන බොහෝ අවස්ථා දක්නට ලැබෙනබව අවධාරණය කළ ජනාධිපතිවරයා දරුවාගේ ජීවිතයට වඩා විභාගය ගැන ලොකුවට හිතන දෙමාපියන් අප අතර සිටින බවද පැවසීය. වයස අවුරුදු දහයයි මාස හයක දරුවෙක් පහුගිය ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණායි කියල ගෙදරදි බෙල්ලෙ වැලදාගත්තා. අපේ අනුනායක හාමුදුරුවනේ, අවුරුදු දහය හමාරක දරුවෙක් මේ රටේ විභාගය අසමත්වුණා කියල බෙල්ලෙ වැල දමා ගත්තා කියල මම මාධ්‍ය තුල දකිනවිට මගෙ හිතට ආවේ ඒ වයසේ දරුවෙක් බෙල්ලෙ වැල දාගන්න දන්නෙ කොහොමද කියන එකයි. මගේ වයස දැන් 66ක්. ජනාධිපති වුනත් එවැනි දෙයක් කරන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ. ප්‍රශ්නය, එවැනි පුංචි දරුවෙක්, අහිංසක දරුවෙක් සුන්දර දරුවෙක් කොහොමද ඒ දේට නැඹුරුවුණේ කියන එකයි. කොහොමද එය දැනගත්තෙ. කොහොමද ඒ තරම් ධෛර්යක් ඇතිවුණේ බෙල්ලෙවැලදාගන්න තරම්.
මේ රටේ සමහර මව්පියෝ දරුවා ශිෂ්‍යත්ව විභාගය අසමත්වෙලා ගෙදර ආවාම ගේ ඇතුළෙ ඉඳන් පයින් ගහනවා දරුවා එළියට විසිවෙන්න. මීට අවුරුදු දෙකකට කලින් මට මතකයි අපේ හාමුදුරුවනේ ගෑනු දරුවෙක් විභාගෙ අසමත්වෙලා ගෙදර ආවයි කියල මුළු රැයක් ගෙයින් එළියට දාලා දොර වහල තිබ්බා. දරුවන්ට වඩා අද උගන්නන්න වෙලා තියෙනවා අම්මලා තාත්තලාට. පහේ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න දරුවන්ගෙ මව්පියන්ට වෙනම පන්ති තියන්න වෙලා තියෙනවා යැයිද පැවසූ ජනාධිපතිවරයා පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවකුගේ ජීවිතය නොවන බවද එය සමත් වුණත් අසමත්වුණත් ජීවිතයේ තීරණාත්මක කඩඉමක් නොවන බවද, යහපත් දෙයක් සඳහා කරන්නාවූ දේ කොතෙක්දුරට ඒ යහපත අයහපතක් බවට පත්වෙනවාද කියන ප්‍රශ්නය ගැන මාපියන් සිතිය යුතු බවද පැවසීය.
අපේ ඉතිහාසය, ශ්‍රේෂ්ඨත්වය ගැන අපි උදම් අනනවා. ඒත් අපි වාර්තා පිහිටුවලා තියෙනවා ලෝකයේ සිය දිවි නසා ගන්නා රටවල් අතර අපි දෙවැනි තැන ඉන්නවා කියලා. ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය, යමක් විඳ දරා ගැනීමේ හැකියාව, ප්‍රශ්න හඳුනාගැනීම, ඒවාට මුහුණදීම අවශ්‍යයි. ඊට සුදුසුලෙස මනස සකස්විය යුතුයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උදේ හවස අපට බණ කියනවා. උදේ නැගිටින විට අපි පිරිත් අහනවා. අනිත් ආගම්වලිනුත් ජීවිත හැඩගස්වනවා. අපට සිදුවී තිබෙන්නේ කුමක්ද කියන කාරණය ගැන අප දැන්වත් සිතා බැලිය යුතුයි.
රටක සංවර්ධනය කියන්නේ ලස්සන පාරවල් ලස්සන ගොඩනැගිලි භෞතික සම්පත්වලට වඩා අප උත්සාහ කළ යුත්තේ ජීවිත ලස්සන කර ගන්නයි. ඒ සඳහා ඔබගේ වෙහෙස මහන්සිය කැපවීම අවශ්‍යයි. අපි රජයක් විදිහට ඊට සම්පූර්ණ සහයෝගය දෙනවා. නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ රටේ සිදුවූ පරිවර්තනයන් තුළ එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා, බණ්ඩාරනායක මැතිනිය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මේ රටේ අධ්‍යාපනය නංවන්න කළ මහා කැපවීම නිසාම මේ අත්තනගල්ල බස්නාහිර පළාත පමණක් නොවෙයි. මුළු දිවයින පුරාම අධ්‍යාපනයේ නව ප්‍රබෝධයක් ඇතිවූ බව අප දන්නවා.
දරුවන් සුරකින්න, දරුවන් පෝෂණය කරන්න ඔවුනට අවශ්‍ය නිවැරදි මග කියාදෙන්න අපේ ආදරණීය ගුරුමෑණිවරු පියවරු වගේම මව්පියන් වෙනස් විදිහට දරුවන් ගැන සිතීම අද අවශ්‍ය වෙලා තියෙනවා යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ ලාංකික තරගකාරී සමාජයේ තිබෙන ගැටලු සහ ප්‍රශ්නත් එක්ක අති ධාවනකාරී ගමනක යෙදෙන ඇතැම් මාපියන් දරුවන් අමතක කරන බවද පාසලේ පැය පහක් ගත කරන දරුවා ඉන් එහා පැය දහනවය තුළ රකින්නේ කෙසේද කියන කාරණාව ගැන සිතා බැලීමට මාපියන් අන් හැම දේකටම වඩා මුල්තැන දිය යුතු බවද පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය මුලින්ම ආරම්භ කළේ මගේ සීයා විසින්. ඒ ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙදියි. 1961 දී සිදුවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක මගේ මව ඉඩම් අක්කර 11ක් වෙන්කර දීලා මෙම විදුහල අද තිබෙන මෙම ස්ථානයේ ස්ථාපිත කළා. ඊට පසු මගේ පාලන කාලයේදී මෙම විදුහල දක්ෂ විදුහල්පතිවරයෙක් පත්කර අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයකට නැංවූවා. ජාතික පාසල් ක්‍රමවේදය හඳුන්වා දුන්නාට පසු මෙම විදුහලත් ජාතික පාසලක් බවට පත්කරන යෝජනාවක් මම ඉදිරිපත් කළා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ හරස්කැපීම නිසා එය තවමත් ප්‍රමාද වෙමින් තියෙනවා. නමුත් මම තමුන්නාන්සේලාට එකක් කියන්නම්. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය ජාතික පාසලක් කරනවා කරනවාමයි. කුමාරතුංග මහත්මිය සිසු සිසුවියන්ගේ අත්පොළසන් මධ්‍යයේ කියා සිටියාය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි
අපේ පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි සංඝසෝබන ගුණයෙන් පිරිපුන් සඟරුවනක්. ගුණ වර්ණනා කරනවාට උන්වහන්සේ කැමති නෑ. නමුත් උන්වහන්සේගේ ගුණ වැයීම අවශ්‍යමයි. නැත්නම් ඒක ගුණමකුකමක් වෙනවා. උන්වහන්සේ මේ 2018 වසරේ පමණක් තව කෝටි 36ක පාසල් ගොඩනැගිලි හදා දෙන්න තීරණය කරලා තියෙනවා.
මහෝපාධ්‍යය, ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි
මගේ 71 වැනි උපන්දිනය නිමිත්තෙන් සංඝබෝධි විදුහලට මේ පරිත්‍යාගය කිරීමට ලැබීම ගැන සතුටුයි. මගේ විදේශීය හිතවතුන් මේ කරන උදව් උපකාර රටේ අනාගත දරු පරපුරේ යහපත වෙනුවෙන් යොදවනවා. තායිවානයේ මහාචාර්ය යෙන් සුයි ඇතුළු බෞද්ධ නියෝජිත පිරිසක්ද අද මෙම උත්සවයට සහභාගි වී සිටිනවා. මට සියලුම මුදල් ලැබෙන්නේ විදේශයෙන්. ලංකාවේ මුදල් සතයක් වත් මම මේවාට වියදම් කරන්නේ නෑ.
සංඝබෝධි විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න මහතා පිළිගැනීමේ කතාව කළ අතර අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් එස්. අභයගුණවර්ධන මහතා ස්තූති කතාව කළේය. මහාචාර්ය උපාලි වීරසූරිය මහතා ද සභාව ඇමතීය.
අත්තනගල්ල විශේෂ ජයවීර සුගතපාල ගම්පහ සංචාරක නිමල් ජයසිංහ
0 Comments