Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාති ‍ආගම් භේද මත කුලල් කා ගන්නා තෙක් මේ රට දියුණු කරන්න බැහැ

අපිට ජාතික වටිනාකමකින් යුතු අවස්ථාවලදී දේශපාලනය අයින් කරන්න පුළුවන්නම්, අපවට රට ගැන හිතන්න පුළුවන්නම්, අනාගතය ගැන සිතන්න පුළුවන්නම්, තමන‍්ගෙ නූපන් පරපුර ගැන හිතන්න පුළුවන්නම්, මේ පුංචි රට හදන එක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. රට හදන්න අවශ්‍ය පුද්ගලයන් මේ රට තුළ ඉන්නවා. රට තුළ බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. නමුත් අද අපේ රටේ විනයක් නොමැතිවීම නිසා සහ ජාති ආගම් භේද අනුව කුලල්කාගන්නා නිසා මේ රට නොදියුණු රටක් වශයෙන් තවමත් පවතිනවා යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා පෙරේදා (22) හක්මණ පල්ලාවෙලදී පැවසීය.

හක්මණ, පල්ලාවෙල කීර්ති ශ්‍රී ‍තේජෝවණාරාමාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ට කීර්ති ශ්‍රී තේජෝවර ගෞරව නාමය සහිතව කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ඉකුත් (20) වැනි දින මහනුවර මල්වතු උපෝසථාගාරයේදී තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් විසින්, උන්වහන්සේට ඒ පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමෙන් අනතුරුව නැවත විහාරස්ථානයට වැඩම කිරීම නිමිත්තෙන් පැවති පිළිගැනීමේ පූජෝත්සවයට සහභාගී වෙමින් කරු ජයසූරිය මහතා එසේ පැවසීය.

විහාරස්ථ දායක සභාව විසින් එම පිළිගැනීමේ පූජෝත්සවය සංවිධානය කර තිබුණි. කථානායක කරු ජයසූරිය මහතා එහිදී මෙසේද පැවසීය.

අද අපේ මහා සංඝරත්නය නිසා රටේ විශාල වශයෙන් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. අද ශ්‍රී ලංකාවට ලෝකයේම බෞද්ධ නායකත්වය ලැබී තිබෙනවා. ඒ වගේම අද පන්සල්වල දායකයන් පිරී පවතිනවා. මිනිසුන් තුළ විශාල උද්‍යෝගයක් ඇතිවී තිබෙනවා. අපේ තරුණ අය අද පන්සල්වලට එනවා එය රටක් වශයෙන් හොඳ ලක්ෂණයක් බව මා කියනවා. ඒ වගේම අප සියලු දෙනාම එකතුවෙලා මේ රටේ මිනිසුන්ගේ සිත් තුළ මනුස්සකම ඇති කරන්න ඕන. මට මෙය ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණේ, මා දැක්කා පසුගිය දින කිහිපය තුළ පුවත්පත්වල පළවී තිබුණ වර්තා දිහා බැලුවාම තමන්ගෙ අම්මව පුතා විසින් මරා දමා තිබෙනවා. තවත් වාර්තාවක තිබුණා පුතා විසින් තමන්ගෙ තාත්තට උදැල්ලකින් පහරදීලා මරා දමා තිබෙනවා. මේවා පසුගිය දින කිහිපය තුළ පුවත්පත්වලින් දැකගන්න තිබුණ ප්‍රවෘත්ති. ඊට අමතරව අපි දකිනවා කුඩා දරුවො විනාශවන ආකාරය, අද සමාජය එක පැත්තක් ඉහළට යනවිට, අනිත් පැත්තෙන් සමාජයේ විශාල පරිහානියක් ඇති වන බව පෙනෙන්නට තිබෙනවා.

අපේ රටේ වසරකට රිය අනතුරු නිසා තුන් හාර දහසක් විතර මරුමුවට පත්වෙනවා. රිය අනතුරු ඇති වෙන්න හේතුව සොයා බැලුවම පෙනී යන්නෙ, රියදුරු මත්පැන් පානය කර රිය පදවා තිබීමයි. එහෙමත් නැත්නම් වේගයෙන් රිය පදවලා, නැතිනම් නීතිය කඩ කර රථවාහන ධාවනය කිරීම නිසා, මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම සමාජයේ කොටසක් විරුද්ධ වෙනවා. නමුත් මේ පිළිබඳව අපි වැඩිදුර අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ඒ විතරක් නොවෙයි. අද කුඩු සංස්කෘතිය ගම්බද පාසල්වලවටත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. පසුගිය දිනවල ඒ පිළිබඳව පුවත්පත්වල වාර්තා කර තිබුණා. කුඩු කියන්නෙ මනස අවුල් වන භයානක මත්ද්‍රව්‍යක්. කුඩු පාවිච්චි කරපු පුද්ගලයෙක් අම්මා, තාත්තා කවුද කියා හඳුනන්නෙ නැහැ. සහෝදරයා සහෝදරිය හඳුනන්නෙ නැහැ. තමන්ගෙ ගුරුතුමා හඳුනන්නෙ නැහැ. මේ නිසා තමන්ගෙ ගුරුවරයාට පහර දෙන ශිෂ්‍යයින් අද ඇතිවෙලා තිබෙනවා. මේවා විකල්වූ මනසකින් හටගන්න දේවල්.

ඊයේ, පෙරේදා මා මාධ්‍ය හරහා දැක්කා එක්තරා රාජ්‍ය ආයතනයක සභාපතිවරයා පැය අටක් බලෙන් රඳවාගෙන තිබෙනවා. යම්, යම් ඉල්ලීම් සඳහා හිරකරගෙන තිබුණා. කිසිම විටක මා වෘත්තීය ඉල්ලීම් ගැන විවේචනය කරන්නෙ නැහැ. අපි කිසි විටක කියන්නෙ නැහැ වහල්ලු වගේ වැඩ කරන්න අවශ්‍යයි කියලා. සෑම කෙනෙකුටම අයිතිවාසිකම් තිබෙනවා. නමුත් ඒ අයිතිවාසිකම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙන බවත් මා කියනවා.

තවත් අවස්ථාවක අප දැක්කා විභාගයක් ආසන්නයේ දුම්රිය වර්ජනයක් ආවා. බස් වර්ජනයක් ආවා. කව්ද මේවායින් පීඩා වින්‍ඳේ, අසරණ දුප්පත් පාසල් දරුවන්. මුදල් තිබෙන අය කාර්වල යාවි. අහිංසක උදවිය මොකද කරන්නෙ. මේ නිසා තමයි මා කලිනුත් සඳහන් කළේ මනුස්සකම සෑම හදවතකම තියෙන්න ඕනය කියලා. ‍එහෙම මනුස්සකම හදවතේ තිබෙනවානම්, එහෙම හැඟීමක් තිබෙනවානම් මේ දුප්පත් මිනිස්සු ගැන මීට වඩා හිතනවා.

අද සෞඛ්‍ය ආයතනවල නිතරම වැඩ වර්ජන තිබෙනවා. අපි දකිනවා රෝගීන්ගේ අ‍ඳෝනාව අපට ඇහෙනවා. සමහර එවැනි අවස්ථාවල රෝගීන් මිය යන අවස්ථා තිබෙනවා. සමහර අවස්ථාවල දුම්රිය වැඩ වර්ජන නිසා කොළඹට ආපු අයට නැවත ගමට යන්න විධියක් නැති අවස්ථා අපි දැක තිබෙනවා. ඒ නිසා තමයි අපි කීවේ මොනවා කරන්නත් කලින් මනුස්සකම හිත් තුළ ඇති කරන්න ඕනය කීවේ.

අද අපේ රටේ ඇතිවී තිබෙන අලුත්ම දේ තමයි පාරවල් වහන එක. කතා කරලා බේරගන්න පුළුවන් දේවල් කිසිම වග විභාගයක් නැතිව පාර වහනවා. රථවාහනවලට යන්න දෙන්නෙ නැහැ. මේ අවස්ථාවල සංචාරකයන් බැණවදින අවස්ථා අප දැක තිබෙනවා. ඒ නිසා සංචාරකයන්, ආ‍යෝජකයන් අපේ රටට එන්න අකමැති වෙනවා. අප ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

මේ පිළිගැනීමේ පූජෝත්සවයේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියං‍ගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් පවත්වන ලදහ.

මේ ආගමික උත්සවය සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ. 

තමරසිරි විජේසේකර දෙයියන්දර සමූහ සහ තිහගොඩ විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();