Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2030 දි ලෝක කිරුළ ජයගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ශක්තිමත් කළා

ෆවුස් මොහොමඩ් සහ ගීෂා මුණසිංහ

මීට පෙර රූපවාහිනිය ඔස්සේ පමණක් නැරැඹීමට හැකිවූ ලෝක පාපන්දු කුසලානය මෙරට ජනතාවට සජීවිව දැක බලා ගැනීමේ අවස්ථාව උදාකරලිමින් මේ වසරේ දී එම භාග්‍ය ලැබූ පළමු රට බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්විම සතුටට කරුණක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට පාපන්දු ලෝක කුසලානයක් සජීවිව දැකබලාගැනීමට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් වසර 2030 දී එය ශ්‍රී ලංකාවට අත්කරගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට සමස්ත ක්‍රීඩාලෝලීන් ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය ලැබිය යුතු බව අග්‍රමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

‘අපි කොහොමද මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නේ...? මෙය ශ්‍රි ලංකා පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක්. මේ අවස්ථාව අනාගත බලාපොරොත්තු ඉටු කරගැනිමට වැඩි ශක්තියක් ලබාගත යුතුයි වසර 2030 වසරේදී පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමේ ඉලක්කය වෙත යාමට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අපිට මේ ලැබුණු දිරිගැන්වීමෙන් ඒ බලාපොරොත්තුව ඉටු කරගැනීමට අපි හැමෝමගෙම සහය අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.’ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මේ වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන රනින් නිපදවූ කිලෝග්‍රෑම් 6.142ක බරකින් යුතු මේ කීර්තිමත් කුසලානය ඊයේ පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී නිරාවරණය කරමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

ලෝක පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිහිවටනයක් බවට පත් කරමින් ලෝක පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් විසින් මෙහිදී විශේෂ සමරු තිළිණයක් අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිත අමුත්තන් ලෝක කුසලානය සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

අනතුරුව මෙරට පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ ජීවිතයේ විශේෂ සිහිවටනයක් බවට පත් කරමින් ලෝක පාපන්දු කුසලානය මහජන ප්‍රදර්ශනයට තැබූ අතර එහිදී කුසලානය සමග ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව ද ක්‍රීඩාලෝලීන්ට ලබා දී තිබිණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාපන්දු ලෝක කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය ක්‍රීඩා ඇමැති එච්.එම්.හාරිස්, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, ලෝක පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් මෙන්ම ලෝක කුසලානය ලොව වටා ගෙනයාමේ චාරිකාවට පූර්ණ අනුග්‍රාහකත්වය සපයන කොකා කෝලා සමාගමේ ඉන්දීය හා නිරිත දිග ආසියා කලාපයේ සභාපති ටී.ක්‍රිෂ්ණකුමාර් මහත්වරු ද එක්වූහ.

පෙරේදා (23) රාත්‍රී විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් කොළඹට රැගෙන ආ ලෝක පාපන්දු කුසලානය ඊයේ පැවැති උත්සවයෙන් පසුව මාලදිවයින බලා රැගෙන ගියේය. ලොව පුරා මහාද්වීප 6ක රටවල් 54ක මහජන ප්‍රදර්ශනයට තැබිම සඳහා ගෙන යන මේ චාරිකාවේ පළමු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම විශේෂ සිදුවීමකි. එවැනි විරල අවස්ථාවක් ආසියාවෙන් ලැබී ඇත්තේ රටවල් තුනකට පමණි. මාලදිවයිනට රැගෙන යනු ලැබූ පාපන්දු ලෝක කුසලානය පෙබරවාරි මස 3 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරට ද රැගෙන යාමට නියමිතය. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();