Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ජනගහනයෙන් භාගයකට කෝවිඩ් ? හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ වෙබ් අඩවිය අනුව මාර්තු 11 වැනිදා පළමු කොවිඩ් රෝගියා ලංකාවෙන් සොයා ගැනීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා දක්වා හඳුනා ගනු ලැබූ ආසාදිතයන් ගණන 25,410ක්. ඒත් කොළඹ නගරයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ අනුව පේන්නේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. කොළඹ ජනගහණය ලක්ෂ හයකටත් වැඩියි. වත්මන් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි කියන්නේ කොළඹ නගරයේ පමණක් කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ සිටිය හැකි බවයි. මම එය පිළිගන්නේ නෑ. මේවා නිසි ලෙස විදිමත්ව කරන ලද පරීක්ෂණ වලින් තොරව ඉලක්ක ගත ලෙස කරන පරීක්ෂණ මගින් තහවුරු කරගත් දත්තයන් මත පදනම් වී කරන ලද ප්‍රකාශ. වසංගත රෝග ගැන මට ඇති දීර්ඝ කාලීන අත්දැකීම් මත මට පැහැදිලිවම කියන්න පුලුවන් සෞඛ්‍ය රීතීන් යටතේ පරීක්ෂණ පැවැත්වුවහොත් කොළඹ නගරයේ ජනගහනයෙන් භාගයකට වඩා ආසාධිතයින් බව තහවුරු වීමට ඉඩකඩ තියෙනවා. මේක බරපතල තත්ත්වයක්.

පසුගිය ජුනි මාසයේ චීනයේ වූහාන් නගරයේ කළා වගේ සියලු දෙනාම පරීක්ෂණවලට භාජනය කරන්න සිදුවෙයි. දැනටමත් කොළඹ බොහෝ තැන්වල තත්ත්වය පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. එම නිසා ඇන්ටිජන් පරික්ෂාව අවදානම් ප්‍රදේශවල සිදුකළ යුතුයි.
කොළඹ නගරයේ ජනගහණය

කොළඹ සාමාන්‍ය ජනගහණ ඝනත්වය කිලෝමීටරයකට පුරවැසියන් 325කටත් වැඩියි. සියයට හැටකට වඩා ඉන්නේ අඩු ආදායම්ලාභීන්. දෛනික වැටුප් සහ සුළු පරිමාණයේ ස්වයං රැකියාවලින් ජීවත්වන පිරිස වැඩි බැවින් ලොක්ඩවුන් කළ විට ඔවුන්ගේ සියලු ආදායම් මාර්ග ඇහිරෙනවා. එසේම ඔවුන්ගේ ආහාර හා වෙනත් අවශ්‍යතා ඉටුකළ යුතුයි.

කොළඹ නගරයේ ඇති වතුවල සහ මහල් නිවාසවල මේ කොරෝනා උවදුර පැතිරෙන්නට ප්‍රධාන හේතුව වන්නේ මේ වතුවල නිවාස ඉතා කුඩා ඒවා. එක ගේක පවුල් කීපයක් ජීවත් වෙනවා. සමහර වෙලාවට නිදාගන්නෙත් ෂිෆ්ට් එකට. ඔවුන්ට භාවිතයට ඇත්තේ පොදු වැසිකිළි, පොදු කරාම වගේම නාන කාමර. ඒ නිසා කොරෝනා වැනි ස්පර්ශයෙන්, කහින විට ඒත් නැත්නම් කිවිසුමෙන් පැතිරෙන රෝගයක් මේ ජනතාව අතර පැතිරෙන ප්‍රවණතාව වැඩියි.

ඔය වතුවල ෆ්ලැට්වල ලොක්ඩවුන් කළාම පාසල් ළමයි ඉඳන් ගෙදර නතර වෙනවා. ලොක්ඩවුන් එකේදි හුදකලා හින්දා කෙරෙන්න ඕන පුද්ගලයාගෙන් පුද්ගලයා ඈත් කොට තැබීම. ඒත් වෙන්නේ අසල්වැසියන් සමග සබඳතා වැඩිවීම නිසා රෝගය තවත් පැතිර යාම. ඒකයි මං කියන්නේ නිසි වැඩපිළිවෙළක් නැතුව මේ කොළඹ ලොක්ඩවුන් කරගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා.
කොළඹ ගෙවල්වල වන මරණ වැඩි වෙන්නේ ඇයි?

ඒ ගැන කමිටුවක් පත් කළත් තවම වාර්තාව ඉදිරිපත් වෙලා නැහැ. දැන් රෝහල්වලට යන්න මිනිස්සු බියක් දක්වනවා. රෝගය වැලඳී ඇත්නම් තමන්ව දුරබැහැර කඳවුරකට නිරෝධායනයට යවයි කියලා. අන්තිමට වෙන්නේ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න ගිහිල්ලා කොරෝනා වයිරසය වැලඳී මරණයට පත්වීම. මහජනතාව කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ සමග සම්බන්ධතාවයක් දැන් නැහැ. ඒ සම්බන්ධතාවය ගොඩනගපු සෞඛ්‍ය උපදේශකවරු දැන් නැහැ.

1978 රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා කොළඹ නගර සභාවට සෞඛ්‍ය උපදේශකයන් 150ක් බඳවා ගත්තා. ඔවුන්ගේ ඩියුටිය වුණේ ඔය වතුවල වගේම ෆ්ලැට්වල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම. සෞඛ්‍ය උපදේශක ඒ කාලේ පවුලේ කෙනෙක් වගේ. මේ නිලධාරීන් සෞඛ්‍ය නීතිරීති හඳුන්වලා දීලා, ආහාර රටා පවා නිරීක්ෂණය කළා. බෝවෙන රෝග, බෝ නොවන රෝග ගැන ජනතාව දැනුවත් කළා. ඒත් දැන් ලොක්ඩවුන් කරපු කොළඹ මහල් නිවාස වගේම වතුවල ගෙදර දොරකඩට ගිහිල්ලා තොරතුරු විමසන්න මොන සෞඛ්‍ය නිලධාරියෙක්වත් නැහැ. මේ කොරෝනා උවදුර මැඬපවත්වන්න කොළඹ නගර සභාවට තියෙන පහසුකම් ඕන තරම් ඇති. නගර සභාව සතු 110 අංකයේ ගිලන් රථ සේවය ආරම්භ කරන්න අංකය ගෙනාවෙත් මම. කොළඹ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්

කොරෝනා වසංගත රෝග තත්ත්වය මැඬලීමට කොළඹ නගර සභාවේ අදාළ බලධාරියා
කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී වසංගත රෝග හා සංඛ්‍යාලේඛන තනතුර අවුරුදු තුනකින් පුරවලා නැහැ. මට ආරංචියි දැන් එය හිටපු කියුබිකල් එකත් ගලවලා අයින් කරලා කියලා. කොළඹ නගර සභාව ලංකාවට කොවිඩ් ඇවිල්ලා මාස 10කට පස්සේ සෞඛ්‍ය උපදේශක තනතුරටම ඉල්ලලා ගිය සුමානේ දැන්වීමක් දාලා තිබුණා.

කොළඹ කොවිඩ් උවදුර මැඬලීමට ගතයුතු පියවර

මූලිකව නගර සභාවේ බලධාරීන් එක්වී සාකච්ඡා කොට නගර සභා දිස්ත්‍රික් තුළ කලාප වෙන්කර ගත යුතුයි. එම දිස්ත්‍රික්ක තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, කොරෝනා ව්‍යාප්තිය මැඬලීමට නිසි පියවර ගත යුතු අතර මේ සඳහා රෝගීන් සිටින ස්ථාන පරිගණකගත කරන ලද සිතියම් අනිවාර්ය වෙයි.මේ සිතියම් ආශ්‍රිතව අවදානම් තත්ත්වයේ සිටින පුද්ගලයන්ගේ දත්ත ලබාගත යුතුයි. නගර සභාව රසායන ද්‍රව්‍යවලට අවුරුද්දකට මිලියන 50කට වැඩිය වියදම් කරනවා. මේ ලොක්ඩවුන් කොට ඇති මහල් නිවාස සහ වතු විෂබීජහරණය අනිවාර්යයෙන් කළ යුතුයි.

කොළඹ ලොක්ඩවුන් ප්‍රශ්නයට අවසන් විසඳුම

දැන් කරන්න ඕන පීසීආර් පරීක්ෂණයට වඩා ඇන්ටිජන් ටෙස්ට් එක. ප්‍රතිදේහ බැලීම. මේ ලොක්ඩවුන් කරපු තැන්වල රාජකාරියේ යෙදෙන අයට ආරක්ෂක උපකරණ, මුළු මූණම වැහෙන ආරක්ෂිත ෆේස් මාස්ක්, දිග කබායවල්, ග්ලවුස් හිඟයකින් තොරව ලබාදිය යුතුයි.
පීසීආර් එකක් කරන ගාස්තුවෙන් ඇන්ටිජන් හයක් කරන්න පුළුවන්. රෝගය ව්‍යාප්ත වෙනවද කියලා බලන්න පුළුවන් ඒ පරීක්ෂණයෙන් පමණයි. වැදගත්ම දේ ජනතාව දැනුවත් කිරීම, සංවිධානය කිරීම, ඔවුන්ගේ නිවාසවලට සේවය සැපයීම, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු ඉටු කිරීම හා කලට වේලාවට අත්‍යාවශ්‍ය අයගේ ලෙඩ රෝග පිළිබඳව කටයුතු සිදු කිරීම යනාදියයි.

වජිර ලියනගේ / www.aruna.lk



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/38etVxE
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();