Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි අපි

ගොදුරක් ගිල දමන විශාල සත්ත්වයකු පරිද්දෙන් මගීන් පටවාගත් බසය මහ හඬ නඟමින් ඉදිරියට ඇදෙයි. ශ්‍රියා පුංචි අම්මාත් මාත් පාරේ අනෙක් පසට යා යුතු ය. එහෙත් පාර හරහා මාරු වීම පහසු නැත. එක පෙළට ගමන් ගන්නා වාහන කන්දරාව මඳකට නවතාලන බලයක් හිමි, මාර්ග සංඥා ආලෝක පුවරුවේ පිහිට වුවමනාය.

  පාර තරණයට ඉවසිල්ලෙන් බලා හුන් කාන්තාව සමග සසඳා බලන කල අපේ නොඉවසිල්ල කැපී පෙනිණ. හිස නඟා කොතෙක් බැලුවද අර කුඩා මිනිස් රුවේ රත් පැහැය වියැකී කොළ පැහැය මතු නොවේ. පාරේ අනෙක් පස එකී වර්ණ විපර්යාසය උදෙසා පාරේ මේ පස පදිකයා බොත්තමක් එබිය යුතු බව මට සිහිපත් විය.

"කෝ තාම නෑනෙ. ඔයා බට්න් එක එබුවද?" මම නාඳුනන කාන්තාවගෙන් ප්‍රශ්න කළෙමි.

"අප්පේ... මට බෑ. ඔව්වා ඔබන්න ගිහින් කරන්ට් එක වැදුණාම."

මම අන්දමන්ද වීමි

"කරන්ට් එක වදින්නෙ නෑ. බට්න් එක ඔබන්නෙ නැතුව කොච්චර වෙලා බලා හිටියත් පාර මාරු වෙන්න බෑනේ." යි මම පහදා දුනිමි.

"ඉතින් මට කියන්නෙ, ඔයා ඔබන්නකො. ඔව්වා ඔබල මට කරන්ට් එක වැදුනාම මගේ ළමයින්ට කන්න දෙන්නෙ ඔයා ද?" යි ඇය මා වෙත කඩා පැන්නේ මා කිසිසේත් අපේක්ෂා නොකළ අන්දමිනි.

"ඇත්තටම මම හිතුවේ ඔයා ඔබන්න ඇති කියලා. අපි එනකොටත් ඔයා මෙතන හිටිය නේ."

අපේ වාදය නොතැකූ තවත් පදිකයෙක් ඇය බියපත් වූ කර්තව්‍යය ඉතා පහසුවෙන් හා නොපමාව සිදු කළේය.

ඔහු ඇය වෙත හෙළුවේ 'ඔන්න දැක්කද මං එබුවා මට කරන්ට් එක වැදුන නෑ නෙ' කියන්නාක් බඳු ජයග්‍රාහී බැල්මකි.

මාර්ගයේ දෙපස නවතා ගත් වාහන නිහඬව කියා පාන්නේ පදිකයන්ට අනලස්ව මාර්ගය තරණය කළ යුතු බව ය. ඒ සඳහා ගත වූ සුළු කාලයේදීද ඇය නො නවත්වා දෝෂාරෝපණය කළාය.

"කියන්න නං ඉන්නවා කට්ටිය. අණ දෙන්න තමා හැම එකාම බලන් ඉන්නේ. අනුන්ට කිය කියා ඉන්න වෙලාවේ තමුන්ම කරා නං ඉවරයි නේ. කොහොමද හරියටම කියන්නේ කරන්ට් එක වදින්නෙ නෑ කියලා. මෝල් ගහත් පත්තුවෙන අබුද්දස්ස කාලේ..."

ඇයගේ කෝපය මට සිනාවට කරුණකි. මා සිනාව මැඬ ගත්තේ ආයාසයෙනි. එහෙත් මෙය හාස්‍යයට ලක් කොට අමතක කර දැමිය හැකි සරල සිදුවීමක් නොවන බව මා දෙවනුව කල්පනා කළේ කනස්සල්ලෙනි.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව කොතෙක් වාගාඩම්බර කතා කළ ද අපේ සමාජය තුළ අතිශයින් අවිද්‍යාත්මක මත දරන්නවුන් ද කොතෙකුත් සිටිති. සාක්ෂරතාවය පිළිබඳ උදම් අනනවා වෙනුවට අප මේ පවතින යථාර්ථය අවබෝධ කර ගත යුතුව තිබේ. අපේ අනවබෝධයේ තරම පසක් කරගන්නට කලකට පෙර ඒඩ්ස් වැලඳි මවකගේ දරුවාට එරෙහිව පාසලේ මව්පියවරුන් කළ උද්ඝෝෂණය ඉවහල් නොවේ ද?

ඒඩ්ස් රෝගීන් සිප වැලඳ ගනිමින් ජනකාන්ත කුමරිය ඩයනා ලොවට විදහා පෑ දයාබරත්වය පවා අපේ මතකයේ නැතුවා වගෙයි.

බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි විශේෂඥයෝ වෙමු. එහෙත් වග විභාග කර බැලූ කල ඒ සියල්ලම පාහේ අරුතක් රහිත රොඩු බොඩු විනා පදනමක් සහිත ආකල්ප නොවේ.

අවිද්‍යා අන්ධකාරය පමණක් නොව ඉතා සුළු කරුණකින් තදබල ලෙස කෝපයට පත්වීම ද අපේ තවත් දුර්වල කමක් නොවේ ද? ජීවන බර හැරුණු කොට ඒ සඳහා බලපාන අනෙක් කරුණ ලෙස මා දකින්නේ අප අතරේ ආදරය සහ ගරුත්වය තදබල ලෙස බිඳ වැටීමය. අනෙකාට ආදරය කරන්නට මෙන්ම ගරු කරන්නට ද අප අපොහොසත් වෙමු. ආදරය ඉවතලා දණ්ඩනය තෝරාගත් රටක ප්‍රීතිමත් පුරවැසියකු අපේක්ෂා කළ හැකිද ? පව් කළොත් අපායේ යන බවට බියවද්දා අපායෙ දෙතිස් වධය විස්තර කරනවා වෙනුවට, තමා උපමා කොට අනිකා දකින, හඟින ලෙස බුදු හිමි දෙසු වග සිහි කරන්නේ නම් අපේ කෲරත්වය යම් තරමකින් හෝ අව ප්‍රමාණ කර ගත හැකි වනවා නිසැකය. මුදු වදනකට එක් හසරැල්ලකට තවත් පුද්ගලයකු තුළ බලවත් විපර්යාසයක් සිදු කළ හැකි වග අප වටහා ගන්නා තෙක් මේ නොරුස්නා සහගත බව ද, ප්‍රචණ්ඩත්වය ද තුරන් නොවනවා ඇත.

ජීවිතය මහා සංග්‍රාමයක් වූ කල සෙසු සියල්ල නොවැදගත් වන බව සැබෑය. එහෙත් අපේ දරුවා හෝ කලාවට නැඹුරු කිරීමෙන් උපේක්ෂාව වර්ධනය වන අතරම, මෘදු මොළොක් බව ද අත්පත් කර ගන්නා වග නිසැකය. විද්‍යාවත්, කලාවත් නොපෑහෙන වග කියතත්; විද්‍යාවත්, කලාවත් එක්තැන් වූ කල සුපසන් මිනිසෙක් බිහි නොවන්නේ ද? අපේ අධික කෝපයට වගකිව යුත්තා අහසේ දිලෙන හිරු පමණක් නොවේ. සමකාසන්නයේ රටක් වීම හැරුණු කොට ඒ සඳහා බලපාන අනෙකුත් හේතු කාරණාද අප අමතක කළ යුතු නැත.

  "ඒ ගෑනිට පිස්සුද මන්දා." ශ්‍රියා පුංචි අම්මා හෙළා දකින කල මම අනුකම්පා සහගත සිනාවක් පෑවෙමි.

"නොදන්නා කමත් එක්කම ජීවිතේ උහුලා ගන්න බැරි තරම් බරක් දුකක් හින්දම වෙන්න ඇති එයාට ඔය තරම් තරහ ගියේ. පව් පුංචි අම්මේ."

ඇයට මා සමඟ වාද කරන්නට ඉඩක් නොලැබුණේ අප ගමනාන්තය සඳහා අප යා යුතු බසය පැමිණි බැවිනි. පොරයට අකැමැති නිසාම ඉවසීමෙන් බලා හුන් මට අන්තිමේ දී සිදු වූයේ ධාවනය වන බසයේ එල්ලෙන්නට ය.

ශාන්ති දිසානායක



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();