අවුරුදු නවයේදී දහයේදී විතර සිළුමිණ කමලා ළමා සමාජයට වාසනාව කියන පුංචි කතාව ලිව්වා. ඉන් පස්සෙ ජනතාවෙ කුමාර මණ්ඩපය, ලංකාදීපෙ බින්දුගේ ළපටි පෙළ මං අත්අකුරු අමුණපු තැන්. බාල කාලේ මං ජීවත් වුණේ මහනුවර. දැන් මං දිවි ගෙවන්නේ උපන් ගමෙන් ඈත, ගම්පහ දිස්ත්‍රික්කයේ අග්නිදිග ආසියාවටම තියෙන මහා දැවැන්තම නිවාස සංකීර්ණයේ.
දැන් මේ නිවාස සංකීර්ණය සුපිරි පන්තියේ මහ සද්දන්ත වාණිජ පුරවරයක්. හිතට නිවනක් හිසට සෙවණක් දුන්නු එතැන, දැවැන්ත වෙළඳ ප්‍රජාවකගේ අණසකට හිරවෙච්ච කොන්ක්‍රීට් වනාන්තරයක්. එදා ගෙවල් 2226 යි. අද ඒ ගෙවල් පැටව් ගහලා.
මගෙ අකුරු නවාතැන් ගත්ත පත්තර, නවයුගය, ජනතා, සිළුමිණ වගේම ඉරිදා ලංකාදීප, දිවයින, සිරිකත, තරුණී තව කොච්චරක් කියලද?
දිනමිණ වෙසක් කලාපයකට තිලකරත්න කුරුවිට බණ්ඩාර අයියාගේ ඇරියුමෙන් ලියූ කෙටිකතාව, පස්සෙන් පහු බෞද්ධ මහා සම්මේලනය මෙහෙයවන බෞද්ධ සඟරාවකත් තිබුණා. ජාතික අධ්‍යාපන ආයතනයේ දවස් දෙකක සම්මන්ත්‍රණයේදී ගරු ලේඛක සහ චිත්‍ර ශිල්පීන් තුනකගේ සමවායෙන් තෝරගත්තු 'අෙප අම්මා කිරට ගියා' තේමාවෙන් ලියැවුණු කතාවත් මගේ.
පුංචිම බාල කාලෙදී අපි එකතු වුණේ ගුවන් විදුලිය ළඟ. ටික කලක් යද්දි අපේ ගෙදරට ලැබුණා ලොකු වයර්ලස් එකක්. ඒකෙන් අහපු සරස්වතී මණ්ඩපය, මිණිකිංකිණි, ගුවනේ මිතුරෝ, පද්‍යාවලිය හිත බැඳගත්ත අපූරු වැඩසටහන්.
යොවුන් විය එක්ක 'මඩවල එස් රත්නායක' මෙහෙයවූ යෞවන සමාජයටයි මුලින්ම ආවේ. 'සරස්වතී මණ්ඩපයෙ' බුද්ධදාස බෝධිනායක, සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ, මොනිකා රුවන් පතිරණ, සුධර්මා සුභාෂිණී ෆොන්සේකා අපි එතෙක් නොදුටු ආදරණීය අයියලයි අක්කලයි. පසුව අපිත් එකතු වුණා ළමා මණ්ඩපයට. පුෂ්පා මෙලනි රත්නායක, ශිරාණි ගුණතිලක, විජයලක්‍ෂ්මි මොහොට්ටි, සමන් පනාගොඩ, අපි ඔක්කොම ගුවන්විදුලියට කරු අයියාගේ කටහඬ දිගේ ඇදිලා ගියා. සුධර්මා සුභාෂිණී අක්කා තරුණ වියේදිම අකාලයේ මිය ගියා.
යෞවන සමාජයෙන් ප්‍රචාරය වුණු, ගුවන් ගත වුණු, හුගක් ලිපි, කවි, නාට්‍ය ඒ දවස්වල ගුවන් විදුලි සඟරාවක මුද්‍රණය වුණා. ලිඛිත මාධ්‍යයෙන් සිදුවණ එවැනි කටයුත්තක් ගුවන්විදුලියෙන් කිරීම, අපේ ලේඛන දිවියට ලොකු අත් වැලකුත් වුණා කියලා කියන්න ඕනෑ.
යෞවන සමාජයේ දී අපි හුඟ දෙනෙක් මුණ ගැහුණා රංජිත් කුමාර, ජයම්පති රූපසිංහ, කුලරත්න ආරියවංශ, ගීත් ගුණරත්න, සුනිල් සමරසේකර, බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න විතරක් නෙවෙයි, අගනුවර කේ නන්දදාස, ඇරැව්වල නන්දිමිත්‍ර, උලපනේ ගුණසේකර වැනි යොවුන් ලේඛකයෝ විශේෂයි.
මතක විදිහට රෝහණ සිරිවර්ධන විතරක් නෙවෙයි පුන්සිරි සොයිසාත් දොරට වැඩියෙ ළමා මණ්ඩපයෙන් හෝ යෞවන සමාජයෙන්. දයා ද අල්විස් අක්කා මුලින් දයා රණතුංග වුණා. රත්නා ලංකා අබේවික්‍රම, සුමනා නෙල්ලම්පිටිය, බණ්ඩාර විජේතුංග, එල්මෝ ප්‍රනාන්දු මේ අය ඔක්කොම බිහිවුණේ ගුවන්විදුලියෙන්. ප්‍රේමකීර්ති ද අල්විස් ඒ අතරින් සුවිශේෂයි. මේ සියල්ලම වාගේ අතීත වංහුං. අතීත වංශ කතාවේ අපේ පරම්පරාවේ ලූෂන් බුලත්සිංහල අයියාගේ වැඩසටහන්වලටත් අපි එදා අනේක වත් දායක වුණා. කටහඬින් චිත්‍රා කුමාරි කළුබෝවිල, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. ඒක සුන්දර යෞවන කාලයක්. ගුවන්විදුලිය කියන මහා සද්දන්ත ඇත් පවුරක් වටා තමයි අපි ඔක්කොම එක්රොක් වුණේ. දැන් ඉතින් මෙව්වා කාටද කියන්නේ. ගුණරත්න අබේසේකර ගුවනේ මිතුරෝ මෙහෙයවූවා. ඔහු ඉක්මනට අප අතරින් සමුගත්තා. සැඳෑ යාමය ඉක්මනින්ම ගෙවීගෙන යනවා. ආයෙ යළි අරුණලු දකින්න බැහැ. අපේ හිත් තුළ තියෙන්නේ ඒ යෞවනයේ චමත්කාර ජනක බලාපොරොත්තු රැල්ලයි. ඒ හින්දම ද කොහෙද දිවංගත වෙන එක තව චුට්ටකට හරි කල් යාවි කියලා මට හිතනවා.
ලක්‍ෂ්මි බෝඹුවල
from dinamina
0 Comments