ලෝකෙ විවිධාකාර ආගම් හාරදහස් තුන්සියයක් විතර තියෙනවා. ඒ ආගම්වල විවිධාකාර දේවල් උගන්වනවා. සමහර ආගම්වල හැටියට 'ලෝකය දෙවියන්වහන්සේ විසින් මැව්වා'ය කියැවෙන අතරෙ, තවත් සමහර ආගම්වල උදවිය නිරුවතින් ගංගාවල නාලා මෝක්ෂය හොයනවා.
මේ හැම ආගමක්ම ඒ ආගම් අදහන උදවියගෙ හිත් නිවනවා.
උපතින් බුද්ධාගමේ වෙච්ච මට නිතරෝම බණ ඇහෙනවා. දැනුම් තේරුම් ඇති කාලෙ ආවහම ආගමක් විදිහට වඩා දර්ශනයක් විදිහට බුදු දහම කොයිතරම් අර්ථාන්විතද කියලා තේරෙන හන්දා නිවන්මග ගැන දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ බණ අහන්නෙ හිතේ කැමැත්තෙන්මයි.
පුංචිම කාලෙ ඇහිච්ච බණ කතා ඇහෙන විදිහ ටිකෙන් ටික ලොකු වෙද්දි වෙනස් වෙනවා.
ලෝකෝත්තර බණවලට වැඩියෙන් ලෞකික ජීවිතේ ගැන කියවෙන බණ ඇහෙන්න පටන්ගන්නවා. බුදු හාමුදුරුවො බණ දේශනා කරලා තියෙන්නෙ නිවන අරමුණු කරගෙන විතරක්ම නෙවෙයි කියලා මම දන්නවා. ලෞකික ජීවිතය සාර්ථකව ගත කරන විදිහ ගැන කියවෙන බණ කතාත් ජීවිතයට ආලෝකයක් එකතු කරනවා. ඒත්, අවාසනාවන්ත විදිහට ලෞකික ජීවිතේ ගැන කියවෙන බණ කාලෙත් එක්ක අලුත් හැඩතල මවන්න පටන් ගන්නවා.
කාලෙත් එක්ක බණ කතාවල හැඩතල විතරක් නෙමෙයි, නිවැරදි බුද්ධ දේශනා සියල්ලමත් සම්පූර්ණයෙන් විකෘති වෙලා, දවසක ලෝකෙන් තුරන් වෙලා යනවය කියලා බුදු හාමුදුරුවන්ම දේශනා කරලා තියෙනවා. ඒත් කහ නූලක් අතේ බැඳගෙන මහණදම් පුරන අවසාන පුද්ගලයාටත් එක විදිහටම ගෞරව කරන්නය කියලත් බුදු හාමුදුරුවො වදාරලා තියෙනවා.
ගෞරව කිරීමත්, උපදෙස් පිළිපැදීමත් කියන්නෙ දෙකක් හන්දා, "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය." කියන පුරාතන උපහැරණය මට මතක් වෙනවා.
එක්තරා රහතන් වහන්සේ යයි කියාගන්නා උතුමෙක් අක්කර ගණනාවක ගොවිතැන් බත් කරනවා. ඒ ආරාමයේ භික්ෂු භික්ෂුණීන් දිවා රෑ නොමැතිව වගා කටයුතු කරනවා. නිල් කටරොලු පාට කිරිබත් උන්වහන්සේගේ දානෙට පිළිගැන්වෙනවා. පාට පාට ඇඳුම් ඇඳපු උපාසිකාවොත් එක්ක උන්වහන්සේ උපන්දින සමරනවා. "අපි වැව්වොත් අපි කනවා" කියලා උන්වහන්සේ රූපවාහිනී සාකච්ඡාවකදී හිනාවෙලා කියනවා. ධර්ම ඥානය උපරිම හන්දා ආගම ධර්මය ගැන කියවෙන ඕනෑම තර්කයක් උන්වහන්සේ තර්ක කරලා පරද්දනවා. උන්වහන්සේටම කැපවෙච්ච සල්ලි හුඟාරියක් තියෙන උපාසක උපාසිකා පිරිවරක් ඉන්නවා. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තමන් වහන්සේත් බුදුවෙලාය කියලා දේවදත්ත කියනවා. දේවදත්ත හාමුදුරුවන්ටම වෙන් වෙච්ච උපාසක උපාසිකා පිරිසක් ඉන්නවා. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තවත් බුදුවරු පහළ වෙලා හිටි හන්දා "අනේ කාලේ වනේ වාසේ" කියලා හිතින් දුක් වෙන්න තරම් කාරණාවක් නැතිය කියලා මට හිතෙනවා.
සුදු පාට පිච්ච මල් වැල් පසුපසින් එල්ලෙන, උස ධර්මාසනයක ඉඳගෙන තවත් ස්වාමීන් වහන්සේ නමක් නිවුනු හඬකින් බණ කියනවා. සුදු ඇඳගෙන මැදිවයසට ළං වෙච්ච උපාසිකාවො දෑත් නළලෙ තියාගෙන බණ අහනවා. කසාද බඳින්න කලින්, කසාද බඳින්න ඉන්න ගෑනු ළමයගෙ අතින් අල්ලන පිරිමි ළමයි ආත්ම ගණනාවක් නිරයේ පැහෙනවාය, කියලා මේ හාමුදුරුවො දේශනා කරනවා. ඒ වගේ උදවිය පෝරුවේ නැංගාම උඩ ඉන්න දෙවිවරු "තූ" ගාලා පොළොවට කෙළ ගහලා යනවය කියලත්, ඒ වගේ උදවියට කසාද බැන්දට පස්සේ දරුවෝ ලැබෙන්නේ නැතිය කියලාත් මේ හාමුදුරුවෝ දේශනා කරනවා.
බණ අහන උපාසිකාවො දෑත් තවත් නළල මුදුනට අරගෙන "සාදු...සාදු...." කියනවා. කසාද බඳින්න කලින් එකට ජීවත් වුණු, දරුමල්ලො තුන් හතර දෙනා ඉන්න පිටරට වගේම ලංකාවෙ උදවියත් මට මතක් වෙනවා. අතින් වත් අල්ලන්නෙ නැතුව කසාද බැඳලා, ප්‍රබල ලිංගික නොගැළපීම් හින්දා වෙන්වෙන්න සිද්ධ වුණ ජෝඩු ගැන කතන්දර ආයෙ ආයෙත් ඇහෙනවා වගේ මට දැනෙනවා.
ගැහැනු කියන්නේ පව් කරපු උදවියය, ඒ නිසා ඒ පව් ගෙවන්න නම් තමන්ගේ ස්වාමියාට දෙවි කෙනෙකුට වාගේ සලකන්න ඕනෑය, කියලා තවත් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා. ඒ සවාමීන් වහන්සේ කියන විදිහට තම සැමියා විසින් සාදන ලද තේ කෝප්පයක් තොලගාපු හැම කාන්තාවක්ම අපායෙ දොරටු තමුන්ගෙ කැමැත්තෙන්ම විවෘත කර ගන්නවා. දුරාතීතේ ගැහැනු උදවිය කෙසේ වෙතත්, දැනට අවුරුදු විසි තිස් ගනන්වල ගැහැනු උදවිය මිය ගියාට පස්සෙ අපායෙ දොරටුව ළඟ පෝලිමේ හිටගෙන ඉන්නවා මට මැවිලා පේනවා.
හිටි හැටියේම ලංකාවෙ කොරෝනා තත්ත්වයේ හදිසි වර්ධනයක් පෙන්වනවා. ඇඳිරිනීතිය කොයි වෙලාවේ කොයි දිස්ත්‍රික්කයට බලපාන විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා නොදන්න හින්දා වැඩිපුර කෑම ටිකක් ගෙනත් තියාගන්න වෙයි නේද කියලා ඉස්කෝලෙ යන වයසෙ පුතා අම්මට කිට්ටු කරලා අහනවා. "ඇහුනා නේද දැන් හාමුදුරුවෝ කියාපු බණ?" අම්මා අහනවා. හාමුදුරුවන්ගේ බණ ඇඳිරිනීතියට ගළපා ගන්න බැරුව පුතා අම්මා දිහා බලනවා. "ඇයි අර හාමුදුරුවෝ කිවුවේ, ලොකු මහත්තුරු ට්‍රොලි පිටින් බඩු ගෙදර ගෙනියනවාය, එහෙම නැතුව එන හැටියකට ජීවිතේට මූණ දෙන්න අපි පුරුදු වෙන්න ඕනෑය, කියලා" අම්මා පුතාට කියනවා. හාමුදුරුවෝ කෙසේ කීවත් ඇඳිරිනීතිය වෙලේ ගෙදර කෑම අහවර වුණොත් ඉන්න වෙන්නේ බඩගින්නේය. කියලා පුතා කල්පනා කරනවා.
මේ අතරතුර කවදාවත්ම ධර්ම දේශනා නොකරන ආරණ්‍යගතව භාවනා කරලා මගපල ලබන පැවිදි උතුමන් ඉන්නවා. ජීවත් වෙද්දිම ඇස් ඉස් මස් ලේ දන් දෙන ශ්‍රමණ උතුමන් ඉන්නවා. උන්වහන්සේලා ගේ කැපකිරීම් සහ නිවැරදි බුදු දහම මිනිස් ඇස්වලට නොපෙනීම හැංගිලා යනවා.
හුඟක් උපාසක අම්මලා සමහර පැවිදි උතුමන් දේශනා කරන නිවන් මග අරමුණු කර ගත්තු ගැඹුරු බණ "අපෝ ඒ බණ හරි බරයි" කියලා අහන්නෙ නැතුව ඉන්නවා. ඒ වෙනුවට කලිසම් ඇඳපු ගැහැනු ළමයින්ව නැගිට්ටවලා බනින, හැම බණකටම නිශ්චිත මුදලක් අයකරන හාමුදුරුවන්ගේ බණ අහනවා. අහලා ඒ බණ ජීවිතේට ගළපගන්නත් උත්සාහ කරනවා.
නිවන් මග කියන්නේ "මල් පාරක්" නෙමෙයිය, කටු ඉති, ගල් බොරලු පිරිච්ච ඒ පාරෙ ඇවිදගෙන යන්න නම් ශ්‍රද්ධාව වගේම බුද්ධියත් යහමින් වුවමනා වෙනවය කියලා, අද කාලෙ බණ අහන උදවිය තේරුම් ගන්නවා නම් බොහොම වටිනවා.
දසුනි හෙට්ටිආරච්චි
from dinamina
0 Comments