“ඇම්බන් මහත්තයා අහලා තියෙනවාද වඳුරෝ සහ දැළිපිහි ගැන.” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ සාලයේ හිඳ ගෙන තේ බොමින් සිටි ගමන්ය.
“නැතුව නැතුව ටොම්සන් මහත්තයා.... හැබැයි ඔය කතාව තියෙන්නේ කළු වඳුරා ගැනද? සුදු වඳුරා ගැනද?” කියා ඇම්බන් මහත්තයා සිනාසෙමින් ඇසුවේය.
“දන්නෙ නෑ ඇම්බන් මහත්තයා... මං හිතන්නේ කළු වඳුරා ගැන වෙන්න ඇති. දැළි පිහි හම්බ වෙන්නේ ඒ වගේ කළු වඳුරන්ටම තමයි...” කියා ටොම්සන් මහත්තයා කීවේය.
“හරි ඉතින් ඔය කළු වඳුරු කතාව මොකද මේ උදේ පාන්දරම ඇද ගත්තේ...? කොහේ හරි කළු වඳුරෙක්වත් දැක්කද? කොහොම වුණත් දැළි පිහිය නම් බොහොම භයානකයි. ඒකෙන් කොහෙන් කොහෙන් කැපෙයිද දන්නේ නෑ... හැබැයි දැන් කාලේ දැළි පිහි නෑ නේද? අලුත් විදිහට නේ දැන් රැවුළු බාන්නේ... ඒකෙන් වැඩක් නෑ... ටොම්සන් මහත්තයා ඔය වහෙන් ඔරෝ විදිහට කියා ගෙන එන්නේ මොකක්ද? මට නම් ඒක තේරෙන්නේ නෑ...” කියා ඇම්බන් මහත්තයා හිස් කෝප්පය මේසය මතින් තැබුවේය.
“ඒක උදාහරණයක් විතරයි ඇම්බන් මහත්තයා... දැන් මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන උදවිය ඉන්නවානේ... ඒ අය සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ වඳුරන්ට දැළි පිහි හම්බ වුණා වගේ තමා... හැරිච්චි හැරිච්චි අතට කොටනවා. කිසිම නිනව්වක් නෑ... කිසිම අවබෝධයක් නෑ... තමන්ගේ මෝඩකම් සමාජ මාධ්‍ය ඔස්සේ ජනසතු කරන්න හදනවා...” කියා ටොම්සන් මහත්තයා කියන විට උන්නැහේද එතැනට ආවේය.
“ටොම්සන් මහත්තයා කියන දේට මාත් එකඟයි. මොකක් වුණත් පාවිච්චි කරන්න ශික්ෂණයක් - විනයක් තියෙන්න ඕනෑ... දැන් වෙලා තියෙන්නේ ඇත්තටම වඳුරන්ට දැළි පිහි හම්බ වුණා වගේ තමයි. මොන විනයක්ද? මොන ශික්ෂණයක්ද? දැන් අර බලන්න අර රාජ්‍ය ඇමතිතුමියට අවමාන කරන්න සමාජ මාධ්‍ය යොදා ගෙන තියෙන හැටි... රටේ ලෝකේ හැටි දන්නෙ නෑ... ආයතනවල වැඩ කරන හැටි දන්නේ නෑ... කාට හරි මඩ ගහන්න ඕනෑ වුණාම තමන්ගේ ඔළුවට එන අමන ගොන් අදහස් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සමාජ මාධ්‍යවලට දානවා.... අනේ මේ රටේ තරුණ පරපුරට ගිය කලක්...”
ටොම්සන් මහත්තයා සුසුමක් හෙළුවේය.
“හැබැයි සමාජ මාධ්‍ය මේක කරේ තියා ගෙන යන්න හැදුවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කවුරුවත් මේක අල්ලා ගත්තේ නෑ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.
“නැත්තේ මොකද? මං දැක්කා මොකක් හරි පත්තරයක ඕක ගැන කාටුන් එකකුත් ඇඳලා තිබුණා. තව ඉංග්‍රීසි පත්තරයකත් ඔය ගැන ලියලා තිබුණා... හැබැයි අනික් කිසිම මාධ්‍යයක් මේක කරේ තියා ගත්තේ නෑ...” කියා කීවේ උන්නැහේය.
“ඒක එහෙම තමයි... ඒ මාධ්‍ය කවුරුත් දන්නවා ඒකේ එහෙම සදාචාරය ගැනවත්, නීතියට අනුවවත් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා... ඒකයි ඒ මාධ්‍ය නිහඬ වුණේ... මට මතක් වෙනවා උන්නැහේ දැන් ඔය කාර්යාලවල වැඩ කරන අයට බෑග් දෙනවා නේද? ඒ මොකටද ඒවා දෙන්නේ...? මොකද කාර්යාලේ වැඩ ගෙදර ගිහින් කර ගෙන එන්නද? නෑ නේ... ඒවායේ දා ගෙන එන්නේ බත් එක විතරයි... හවසට ගෙදර යන ගමන් එළවළු ටිකයි, පාන් රාත්තලයි දා ගෙන යන්නෙත් ඒ කාර්යාල බෑග් එකේ තමයි...” කියා ටොම්සන් මහත්තයා කීවේය.
“ඒකටත් වඩා වෙනස් දෙයක් මට මතක් වෙනවා... දැන් ඔය පහුගිය ශතවර්ෂයේ අග භාගයේදී ඔය කාර්යාලවල ලිපිකරුවන්ගේ මේස උඩ තිබුණා නේද අළු බඳුනක්...” කියා උන්නැහේ ඇසුවේය.
“ඒ කියන්නේ අර අළු බඳුන කියන ක්‍රිකට් තරගය ගැනද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.
“නෑ... නෑ... එහෙම නෙවෙයි.. .ලිපිකරුවන්ට සිගරැට් බීලා අළු ටික දාන්න තමයි ඒ අළු බඳුන දුන්නේ. ඒක දුන්නේ ආණ්ඩුවේ සල්ලිවලින්. සිගරට් බොන එක එහෙම පිටින්ම පෞද්ගලික වැඩක් නේ. මොකටද ඒකට මහජන මුදලින් අළු බඳුන් අරන් දුන්නේ... මං අහන්නේ එහෙම සිගරට් බීපු අයගේ දරුවෝ නේද අද මේ සමාජ මාධ්‍යවල දැළිපිහි සටහන් තියන්නේ...”
“උන්නැහේ කියාපු උදාහරණේ නම් හරිම අපූරුයි... ඒකටත් වඩා මට වෙන දෙයක් මතක් වුණා... දැන් අර පත්තරේකට මේ ගැන ලිපියක් ලිව්වා කිව්වා නේද? එතකොට ඒක ලියන්න පෑන ගෙදරින් ගෙනාවද? එහෙම නැතිනම් කන්තෝරුවෙන් දුන්නු පෑනකින් ලිව්වාද? එතනත් වැරදියි නේ... ලියලා දෙනවාට තමයි පඩියක් ගෙවන්නේ... ලියන්න පෑනක් ඒ පඩියෙන් ගන්න ඕනැ නේද? ඒ ගැන මොකද කියන්නේ...?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.
“මොනවා කියන්නද? සමාජ අධ්‍යාපනයක් නැති රටක ඔයිට වැඩිය වෙන දෙයක් වෙන්නේ නෑ... අර ගමේ කතාවක් තියෙන්නේ බල්ලො බිරුවාට කඳු පාත් වෙන්නේ නෑ කියලා. ඒ විදිහට වැඩ කර ගෙන යන එක තමයි තියෙන්නේ... වඳුරන්ට දැළි පිහි දීලා ඉවර හින්දා උනුත් දැළි පිහි වනයි. ඒකට මොකද කරන්නේ.. කනගාටු වෙනවා ඇර... ” කියා ටොම්සන් මහත්තයා කීවේය.
බන්දුල පී. දයාරත්න
from dinamina
0 Comments