“අහම්බෙන් පොලොන්නරුව සොයාගත් ලුතිනන් ෆේගන්" යන ශීර්ෂය ඇතැම් විට ඔබේ කුතූහලයට හේතු විය හැක. ‘පුරාණයේ පටන් පැවති පොලොන්නරුව සුද්දකු විසින් කෙසේ නම් සොයාගනු ලබන්න ද?’ ඔබ විමතියෙන් ප්‍රශ්න කරනු ඇත.
පොලොන්නරුව සියවස් දෙකකට අධික කාලයක් ලංකාවේ කීර්තිමත් අගනුවරක්ව පැවතිය ද කාලිංග මාඝගේ ආක්‍රමණයත් සමඟ එම කීර්තිමත් නගරය විනාශයට ගියේ ය. දඹදෙණි රාජධානිය ස්ථාපිත වීමෙන් පසු එහි අවසාන රජු වූ තෙවන පරාක්‍රමබාහු (සතරවන විජයබාහුගේ පුත්) ඉතා මඳ කලක් පොලොන්නරුවේ රජ කළ බව සඳහන් ය. එහෙත් ඔහුගේ ඥාති සොහොයුරු දෙවන බුවනෙකබාහු (පළමුවන බුවනෙකබාහුගේ පුත්) පොලොන්නරුව ආක්‍රමණය කොට දළදාව හා පාදාව රැගෙන විත් කුරුණෑගල සිය රාජධානිය පිහිටුවා ගත්තේ ය. (පසුගියදා කඩා බිඳ දමන ලද කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ඉඳි කළේ යයි සඳහන් වූයේ මෙම රජු ය.) ඉන් අනතුරුව පොලොන්නරුවේ විසල් ගොඩනැගිලි වසා දමමින් මහ වනය පැතිරිණි. ඉතිහාසයේ සඳහන් වුවද පොලොන්නරුව කොතනදැයි දන්නෙක් නොවී ය.
ක්‍රි. ව. 1820 දී මඩකලපුවේ සිට පැමිණෙමින් සිටි ‘ලුතිනන් ෆේගන්’ (Lieut. Fagan) ‘තෝපරේ’ නම් ගමක රැය ගත කළේ ය. ඔහු 1820 අගෝස්තු 1 වන දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කළ ලිපිය (මෙම ලිපිය පසුව 1885 ද ඔරියන්ටලිස්ට් (The Orientalist) හි දෙවන කාණ්ඩයේ පළ විය.) පොලොන්නරුව පිළිබඳ ගැටලු නිරාකරණය කළේ ය. ෆේගන් තෝපරේ දී ඔහු දුටු දෑ මෙසේ අනාවරණය කරයි.
“ඒ 27 වනදා උදෑසනයි. තෝපාරේ ආසන්නයේ දී පාරෙන් එහා පැත්තේ වනාන්තරය තුළ තිබුණු ශෛලමය කුලුනු සමූහයක් මගේ අවධානය දිනාගත්තේ ය. කඩිනමින් ආසන්නයට ම සමීප වී නිරීක්ෂණය කරන්නට ගිය මම රත්පැහැ ගඩොළින් සැදුණු වක්‍රාකාර දර්ශනීය ගොඩනැඟිල්ලක නටබුන් හමුවේ මවිතයට පත්වීමි. කෙටි දුරකින් දකුණු දෙසට තවත් අතිවිශාල ප්‍රමාණයකින් යුත් සමාන උපකරණවලින් සමන්විත ගොඩනැඟිල්ලක් කුලුනු, ගඩොළු, ඇද වැටුණු ආධාරක හා ඇද වැටුණු බිත්ති ආදී නටබුන් රැසකින් යුතුව කැලෑව තුළ එම දිසාවට ම දර්ශනය විය."
ඔබ පොලොන්නරුව බලා ගමන් කරන විට පාරට මඳක් එපිටින් දිස් වන වටදාගෙයි නටබුන් සිහිපත් කරගනු මැනවි. අදින් අවුරුදු දෙසීයකට පෙර ෆේගන් වනගහනය අතුරින් දුටුවේ ද වනගත වටදාගෙයි නටබුන් බව ඔහු ඉදිරිපත් කරන විස්තරය අනුව සිතාගත හැකිය. එදවස කුඩා පාරක් ගමන් කරන්නට ඇත්තේ ද වර්තමාන පාර අසලින් ම විය යුතු ය.
“වක්‍රාකාර ගොඩනැඟිල්ල මට සිතෙන ආකාරයට කලෙක ආවරණය නොවූ විහාරයක් විය යුතු ය. මම අඩි 15ක් පළල හා 5ක් උස ශෛලමය පඩිපෙළ සයකින් යුතු වේදිකාවකට නැඟුණෙමි. වේදිකාව වටකුරු ය. මුදුනත ගඩොළු බිත්තියකි. බිත්තියේ ශීර්ෂය සහ මුදුනේ ලීස්තරය යොදා ඇත්තේ කපන ලද ගල්වලිනි. බිත්ති බොහොමයක් තවමත් නැගී ගත්වනම ය."
පසු කලෙක හඳුනාගත් වටදාගෙයි දිග, පළල මනින ලුතිනන් ෆේගන් වටදාගෙය පිළිබඳ අපූරු සටහන් පෙළක් ඉදිරිපත් කරන්නේ මේ නටබුන් පොලොන්නරුවට අයත් බව දැනගෙන නොවේ.
වටදාගෙයින් පසු ඔහු ඊට දකුණු පසින් ඇති නටඹුන් ගොඩනැඟිල්ල (ථූපාරාමය) පිළිබඳව ද අපූරු විස්තරයක් ඉදිරිපත් කරයි. ගම්මුලාදෑනියා ද ෆේගන් අගය කරමින් කතා කරයි. ඔහු විසින් දකිනු ලැබිය යුතු අපූරු නටබුන් ඇතැයි පවසන ගම්මුලාදෑනියා ඔහුට මග පෙන්වන්නට වියපත් වැසියකු එවන බව පවසයි. සවස හතරට පමණ පිටත් වී වනාන්තරයේ සැතපුමක් පමණ ඇවිද ගිය ෆේගන් දකින නිර්මාණයෙන් විස්මයට පත්වෙයි.
“ආශ්චර්ය සම්පන්න ගඩොළින් කරන ලද ගොඩනැඟිල්ල උඩරට රජුන්ගේ සුසානඝරයක් සේ මගේ මනසට හැඟෙයි. ගොඩනැඟිල්ලේ උස අඩි 80 සිට 160 දක්වා ය. එය අලංකාර වටකුරු ක්‍රමයෙන් සිහින් වන ශිලා ස්තම්භයක් මත ආරක්ෂිතව පිහිටි උල් වූ කොතකි. අඩි 25ක් පමණ උස් වූ විශිෂ්ට කොත අවට පිහිටි සමබිම් හා වනයට ඉහළින් දිස්වෙයි. ප්‍රථම දර්ශනයෙන් මගේ කණ්ඩායමේ සිටි උඩරැටියෝ සිය හිස් නිරාවරණය කරගෙන මුනින් වැටී උත්තරීතර නමස්කාර කළහ."
ෆේගන් දකින්නේ පොළොන්නරුවේ මහසෙන් රජ දවසින් පසු තනන ලද විශාලතම දාගැබ සේ සැලකෙන රන්කොත් වෙහෙරයි. ඔහු මෙසේ සඳහන් කරයි.
“ මුළුමනින් ම රත් ගඩොලින් තැනූ මෙම පිරමීඩය හුණු බදාම ආලේපිත ය. පළුදු වීම් හා විශාල ගස් මුල් බැස ගැනීමෙන් එහි වටකුරු බව අඩු වී ඇත. ගඩොළු වැඩ කළ අතිවිශාල ජනතාවගේ පරිහානිය හේතුවෙන් ලංකා ගෘහ නිර්මාණ ශිල්පයේ ස්වාභාවික විනාශ කරන්නා විසින් බල කරන ලදුව නිර්මාණයේ පරිධියේ හා මුහුණතේ ක්‍රමවත් ස්තරයේ ගැඹුරු පැල්ම ඉන්දීය වනස්පතීන් වවන්නට විය. නිත්‍ය ස්තරය දැකීමෙන් මෙම අතිවිශාල ගොඩනැඟිල්ල මුහුණත ගඩොළු තාප්ප සහිත පස් ගොඩැල්ලක් නොවන බව මට තීරණය කළ හැකිය. සමස්ත නිර්මාණය ම ගඩොළු පෙදරේරු කර්මාන්තයේ ශ්‍රේෂ්ඨ වැඩ කොටසකි. මම ද මෙහි අභ්‍යන්තරයේ ඊජිප්තු පිරමිඩයක මෙන් ගර්භයක් (කුටියක්) ඇතැයි සිතන්නට නැඹුරු වෙමි."
ෆේගන් ඔහුට හමු වූ පිරමිඩය (රන්කොත් වෙහෙර) අසල පිහිටි සමාන දුරකින් පිහිටි ගඩොළු ගොඩනැඟිලි දහසයක් පිළිබඳ විස්තර ඉදිරිපත් කරයි. ඔහු ඒවා කුඩා දේවස්ථාන යනුවෙන් හඳුන්වයි. ඒ රන්කොත් වෙහෙර වටා ඇති ප්‍රතිමා ගෘහයන් ය. ඔහු රන්කොත් වෙහෙරේ මළුව පියවර ගණනින් ද ප්‍රතිමා ගෘහ ඇතුළු සියලු තන්හි ප්‍රමාණයන් අඩිවලින් ද මැන දක්වයි.
සැන්දෑව කෙමෙන් ගෙවී යයි. ෆේගන්ට ඔහුගේ සිත් බැඳගත් වස්තූන් හැර යන්නට සිදුව තිබිණි. එහෙත් එක් මඟ පෙන්වන්නකු කියන්නේ තවත් සැතපුම් භාගයක් පමණ ගමන් කළොත් ෆේගන් මෙතෙක් දුටු සියල්ල අබිබවන තැනක් දැකිය හැකි බවයි. ඔහු ඉදිරියට යයි. ඒ ගල් විහාරයට ය. ඔහු මග පෙන්වන්නන් වෙතින් දැනගත් තොරතුරු අනුව එය ‘ගලේ විහාරය’ නමින් හඳුන්වයි.
“පළමුවෙන් දර්ශනය වූයේ අඩි 80ක් පමණ දිග, මධ්‍යයේ දී අඩි 30ක් පමණ උස් කෙළවර දක්වා ඇල වන විශාල කළු ගල් කුළකි. තව දුරටත් ඉදිරියට පියවර කීපයක් ගිය විට මා සිටියේ අඩි 25ක් වත් උස ශෛලමය යෝධ මානව ප්‍රතිමාවකට යටිනි. ඒ මොහොතේ මා තුළ ඇති වූ හැඟීම් මට විස්තර කළ නොහැක. පරීක්ෂා කිරීමෙන් පසු මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේගේ ඍජු ඉරියව්වක පිළිමයක් (හිටි පිළිමය) බව මට වැටහිණි. බුදුන්ගේ අත් අසාමාන්‍ය ලෙස සුන්දරව පපුව හරහා වැතිර තිබෙයි. උන්වහන්සේගේ සිවුර වමත හරහා වැටී තිබෙයි."
ෆේගන් හිටි පිළිමයට දකුණු දෙසින් විහාරයේ ඇති හිඳි පිළිම සහ ඒ ඇති මැදිරිය ද පිළිබඳ විස්තර ඉදිරිපත් කරයි. ඔහු සැතපෙන පිළිමයේ විස්තර ගෙන හැර පාන්නේ මෙසේ ය.
“හිටි පිළිමයට වම්පසින් පූජනීය උත්තම ප්‍රතිමාවක් සැතපුණු ඉරියව්වෙකින් වැතිර සිටී. මම වඩා සියුම්ව නිරීක්ෂණය කිරීමේ අටියෙන් පිළිමය අසලින් ඉහළට නැගුණෙමි. පිළිමයේ දෙනෙත් අතර පරතරය අඩියකි. නාසය අඩි 2 අඟල් 4 කි. හිසට යටින් ඇති අතේ සුළැඟිල්ල අඩි 2කි."
ඉක්මනින් ඇඳිරි වැටෙයි. ෆේගන්ට සිදුවන්නේ ඉක්මනින් තෝපරේ වෙත ආපසු යන්නට ය. තෝපරේ යනුවෙන් එදා හැඳින්වූයේ වර්තමාන තෝපා වැවයි. ‘මෙහි පදිංචිකරුවන්ට ජලය සැපයිය හැකි ළිඳක හෝ ජලාශයක නටබුන් වත් නැත.’ යන ෆේගන්ගේ සඳහනින් පෙනෙන්නේ ආසන්නයේ ම ඇති තෝපාවැව ෆේගන් නුදුටු බව ය.
පොලොන්නරුව යයි නොදැන ලියැවෙන ‘තෝපරේ ආසන්නයේ ඇති නටබුන්’ යන හිසින් ඇති ලියැවිල්ල කියවන විට නටබුන් පිළිබඳ අවබෝධයක් ඇති කුතූහලයෙන් යුත් නිලධරයකු දෛවය විසින් මේ වනරොදට එවන ලදැයි අපට සිතෙයි.
මහානාම දුනුමාල
from dinamina
0 Comments