පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය පිටුපස අභිරහස් හේතු පවතින බවත් එම ප්රහාර සම්බන්ධයෙන් ඇති රහසිගත සහ අතිශය රහසිගත හේතු ඉදිරියේදී කොමිසම හමුවේ හෙළිදරවු කරන බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා (17) පාස්කු කොමිසම හමුවේ කීවේය.
ප්රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු සැඟවීමක් වුණාද සඟවා තැබීමක් සිදු කළාද යන්න ප්රශ්නයක් බව කොමිසම හමුවේ කියා සිටි ඒ මහතා තමා ප්රහාරය පිළිබඳ දැනුම්වත්ව සිට එය මඟහැරීමක් සිදු නොකළ බව ද කොමිසම හමුවේ කියා සිටියේය.
පොලීසියේ දුර්වලතාවක් මැද මෙම ප්රහාරය සිදු වුණා කියන එක පිළිගන්නේ නැහැ. අවාසනාවන්ත සිදුවීමක් වූ බව ඇත්ත. පොලීසියේ නිලධාරීන් සියලු දෙනා මහන්සි වී වැඩ කළා. මහන්සි වී ගත් ක්රියාමාර්ග, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් ජයග්රහණ, අත්අඩංගුවට ගත් අවස්ථාවන් අපමණයි. පොලිස් නිලධාරීන් බොහෝ දුෂ්කරතා මැද පැහැදිලිවම රාජකාරි සිදු කළා. එය ප්රමාණයක් වුණේ නැහැ ප්රහාරය වළක්වගන්න. ඒකට හේතු තිබෙනවා. අභිරහස් හේතු. උදව් කළ පුද්ගලයන් අනෙක් පැත්තට ගත් හැටි, දේශපාලනය, මුදල්, විදේශ මුදල්, ඔත්තුකරුවන් අය අනෙක් පැත්ත ගහපුවා, සිදු කළ පරීක්ෂණ අනෙක් පැත්ත ගහපු හැටි කාරණා ගොඩක් තියෙනවා. මේ හැම කාරණයක්ම සලකා බලන්න ඕන. රහසිගත සහ අතිශය රහස්ය කාරණා තිබෙනවා. ඉදිරියේදී මේවා කොමිසම හමුවේ හෙළි කරන බවද හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියේය.
මට පොලිස්පති ලෙස වගකීමක් තිබෙනවා. මම දන්නේ නෑ කියලා කොයි වෙලාවෙවත් කියන්නේ නැහැ. නොකර පැහැරහැරියේ නැහැ. උපරිම පියවර ගත්තා.
පොලිස් නිලධාරීන් බොහෝ දුෂ්කරතා මැද්දේ රාජකාරී කටයුතු සිදුකළ ද ප්රහාරය වළක්වා ගැනීමට එය ප්රමාණවත් නොවූ බව කියා සිටි හිටපු පොලිස්පතිවරයා මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව හුදෙක් පොලිස්පතිවරයා පමණක් මෙයට වගකිව යුතුයි කියලා නිගමනයක් තිබෙනවා, ඒ අනුවයි ප්රශ්න ඇසීම සිදු වන්නේ යැයිද කොමිසම හමුවේ කීවේය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය පොලීසියේ දුර්වලතාවක් හේතුවෙන් සිදු වූයේ දැයි කොමිසම යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් පෙරේදා (17) පූජිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක
0 Comments