අමානුෂික ලෙස පහරදී කිසිවකුට නොකියන ලෙසටත් තර්ජනය කරලා
හලාවත සවරාන විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තවත් සිසුන් පිරිසක් විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා මරණයට පත්ව ඇත.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හලාවත මැරවල සවරාන මුස්ලිම් විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසූල් (16) නැමැති සිසුවාය.
පසුගියදා මේ ශිෂ්‍යයාට එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක ධුරය පිරිනමා ඇත. පසුගිය 15 වැනිදා රාත්‍රී 10ට පමණ එම ශිෂ්‍යයා සවරාන කොලණියේ මුස්ලිම් පල්ලියේ පැවැති මෙහෙයකට සහභාගි වී පාපැදියෙන් ආපසු නිවස බලා එමින් සිටියදී මග රැක සිටී එම පාසලේම දහය වසරේ සිසුන් සිවු දෙනකු විසින් අවට තිබෙන විදුලි බුබුලු නිවා දමා ඔහු වටකර අතින් පයින් හා පොලුවලින් අමානුෂික ලෙස පහරදි ඇති බව පරික්ෂණ වලදී හෙළීවී තිබේ. මේ සිද්ධීය කිසිවෙකුට නොකියන ලෙස පහරකැ සිසුවාට තර්ජනය කර ඔවුන් පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මේ තර්ජනය නිසා සිසුවා එම සිද්ධිය දෙමවුපියන්ට නොදන්වා සිටියත් ඔහු හිසේ රුදාවක් ඇති බව කියමින් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා හලාවත රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහුගේ තත්ත්වය උත්සන්න වීමෙන් හලාවත රොහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබේ.
එහිදී එම සිසුවාගේ හිසට ශල්‍ය කර්මයක් සිදුකර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී පෙරේදා (23) අලුයම මියගොස් තිබේ.
පහරකෑමෙන් මියගිය මේ ශිෂ්‍යයා විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු බවත් ඔහු පල්ලියේ කටයුතු වලදීද නායකත්වය ගැනීමත් සමාජ සත්කාරක වැඩසටහන් වලදි පෙරමුණ ගැනීමත් සිදුකර ඇති බාහිර ක්‍රියාකාරකම් වලින් ඉදිරියෙන්ම සිටින සිසුවකු බවද ගුරුවරු කියති. මේ ශිෂ්‍යයා පාසලේ සිසුන් අතර විනය ඉතා ඉහලින් පවත්වාගෙන යාමට කැපවි ඇත. ඊර්ෂ්‍යාව මුල්කරගනිමින් මේ පහරදීම සිදුකර ඇති බවට පරික්ෂණ වලදි හෙළීවී ඇත.
සිසුවා මියයාමට පෙර පහරදීම සම්බන්ධයෙන් මීට පෙර සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙදෙනෙකු ඇප පිට නිදහස් කළ අතර එක් අයෙකු පරිවාස භාරයට පත් කර ළමා නිවාසයට යොමු කිරීමට නියම විණි. සිසුවාගේ මරණයෙන් පසු ඇප මත සිටි දෙදෙනා නැවත අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය ක්‍රියා කළ අතර ඔවුන් දෙදෙනාද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ ජාතික රෝහලේදී පැවැති අතර හිසට තදබල ලෙස පහරදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව ලෙස සඳහන් කර ඇති බව හලාවත මුලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතා පැවැසීය. හලාවත පොලිසියේ අපරාධ විමර්ශන පවත්වයි.
පුත්තලම දිසා සමුහ, මුන්නේශ්වරම සමූහ
0 Comments