සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා ගොනු කළ හැකි වන පරිදි ප්‍රකාශයක් කරදෙන්නැයි කියමින් FCIDය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමාට බලපෑම් කළ බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පසුගියදා (16) පැවසීය. සාක්ෂිකරුවන් විසින් ස්වේච්ඡාවෙන් ලබාදෙන ප්‍රකාශ බලහත්කාරයෙන් ලබාගැනීමට F.C.I.D. ය ක්‍රියා කළ බවත්, F.C.I.D. ය කටයුතු කළේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ උපදෙස් මත බවත් හෙතෙම හෙළි කළේය.
කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු ත්‍රිපුද්ගල කොමිසම හමුවේ මෙම සාක්ෂි ලබා දුන්නේය.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න මහතා සාක්ෂි දෙමින් මෙසේද පැවසීය.
රිමාන්ඩ් භාරයෙන් දින 3කට පසුව මෛත්‍රීපාල මහතා මට කතා කළා. මාව රිමාන්ඩ් ගත කිරීම පිළිබඳව අතිශයින් කනගාටු වෙනව කිව්වා. එදාම මම එතුමාව හමුවුණා. එහිදී ඔහු මට කිව්වා ඔයා ගැනත් අධ්යක්ෂ මණ්ඩලය ගැනත් කනගාටු වෙනවා කියලා. මම දවස් 43ක් රිමාන්ඩ් වෙලා එළියට ඇවිල්ලා තමයි ජනපති හමුවුණේ. එදා ජනාධිපතිතුමා මාව හෙළිකොප්ටරයෙන් කුරුණෑගලට එක්කගෙන ගියා. එහිදී අකිල විරාජ් මහතා හෙළිකොප්ටරයෙන් ගිය මාව බුලත් දී පිළිගත්තා.
එදින සවස මමත් අධ්යක්ෂ මණ්ඩලයේ කීප දෙනෙකුත් හිටපු ජනපතිතුමා හමුවුණා. ඒ හමුවුණාට පසුව ජනාධිපතිතුමා කිව්වා මේ ඔක්කොම කරන්නේ දූෂණ විරෝධී කමිටුව කියලා. දූෂණ විරෝධී කමිටුවේ ඉන්න ජේ.සී. වැලිඅමුණ කියන පුද්ගලයා එන්ජීඕ එක්ක එකතුවෙලා මේවා කරලා පිටරටින් සල්ලි ගන්නවා කියලත් කිව්වා. ජනාධිපතිතුමා ලෙස තමන්ගේ කීමවත් ඔවුන් ගාණකට ගන්නේ නැහැ කිව්වා. අපිව රිමාන්ඩ් කිරීම පෙන්නලත් වැලිඅමුණ සල්ලි අරන් ඇති කියලා කිව්වා. හිටපු ජනාධිපතිතුමා මේ ගැන බලන්නම් කියලත් කිව්වා.
එහෙත් හිටපු ජනාධිපතිතුමා හමුවී වසරකට පසුව පොලිස් නඩු පැවරුවා. මාව යළි සිරගත කරන්න සැලසුමක් තිබෙනවා කියලා මට දැනගන්න ලැබුණා. බැසිල් රාජපක්ෂ මහතා සමඟ මැයි දිනය සමරා දින කීපයකට පසුව මෙම කරදර ආවා.
මම දුමින්ද දිසානායක මහතා හමුවුණා. මොකද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිය නිසා. දුමින්ද දිසානායක මහතා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථනයෙන් කතා කළා. එහෙම කතා කළාම පූජිත් මහතා F.C.I.D.යේ කාටහරි කතා කළා කියලා මට ඇහුණා. මම දෙන සාක්ෂි වලින් දෙයක් වෙන්නේ නැහැ කියලා මට (127 යටතේ) වන් ටු සෙවන් යටතේ ප්‍රකාශයක් දෙන්න වෙයි කිව්වා. මම වන් ටු සෙවන් ප්‍රකාශයක් ගැන දැනගෙන හිටියේ නැහැ. දුමින්ද දිසානායක මහතාත් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම මගේ නීතිඥවරයාගෙන් එය දැනගත්තා. මට 127 යටතේ ප්‍රකාශයක් දෙන්න කිව්වේ දන්සැල් ව්‍යාපෘතිය ගැනයි. දන්සැල් ව්‍යාපෘතිය කියලා ඔවුන් හැඳින්වූයේ දේශීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට එම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කළා කියලා ප්‍රකාශයක් ගැනීමට F.C.I.D. ය බලාපොරොත්තුවෙන් සිටියා.
ඇත්තටම බැසිල් රාජපක්ෂ මහතා කිසිදු බලපෑමක් නියෝගයක් දීල නැහැ කියලා මම නීතිඥවරයාට කිව්වා. එහෙත් නීතිඥවරයාගේ උපදෙස් පරිදි මම F.C.I.D. යට ගිහිල්ලා 127 යටතේ ප්‍රකාශයක් දෙන්න කල් ලබාගෙන ආවා.
කොමිසම - තමන් දන්නවද 127 ප්‍රකාශය ගැන
සාක්ෂිකරු - ඔව් ස්වාමීනි දූෂණ විරෝධී කමිටුව මගින් ද මෙය එක් ව්‍යාපෘතියක් ලෙස නම් කර තිබුණා. එම ප්‍රකාශය අධිකරණය ඉදිරියේ දෙන සාක්ෂියකට සමානයි.
මීට පෙර මා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද හමුවුණා. එහිදී එතුමිය වැලිඅමුණ මහතාට කතා කළා. ඔහු ආවා. වැලිඅමුණ මහතා ද මේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙක්.
කොමිසම - දූෂණ විරෝධී කමිටුව පිහිටුවූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාව ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත් වෙලා.
සාක්ෂිකරු - මට එරෙහි විමර්ශන කළේ මූලික නීති සිද්ධාන්ත වලට පිටින් බැසිල් රාජපක්ෂ මහතා අල්ලන්නේ කොහොමද කියන ඉලක්කයට ඔවුන් වැඩ කළා. බැසිල් මහතාට චෝදනා කිරීමට නඩුවක් පැවරීමට අපිට බලපෑම් කළා. අපි F.C.I.D.යේ බලපෑම් වලට යටත් නොවූ නිසා අපිට බොරු නඩුවක් පැටලුවා.
රෝෂන් තුෂාර
0 Comments