Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිහි පරිවර්තන සමයේ මිලිටරි ජුන්ටාව පීඩනයක

මාලි හිටපු ජනාධිපති ඊබ්‍රහිම් බවුබකර් කෙයිටා බලයෙන් පහ කරමින් හමුදා කැරැල්ලක් ඇති කළ හමුදා ජුන්ටාවට, බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව සහ අන්තර්ජාතික ප්‍රජාව දැක්වූ පීඩනය හමුවේ සිය පාලනය ස්ථාවරත්වයට පත් කර ගැනීමට නොහැකි වී ඇත.

සැප්තැම්බර් 15 වැනි දාට පෙර මාලි රාජ්‍යයේ සංක්‍රාන්ති ආණ්ඩුවේ ජනාධිපති ධූරයට සහ අගමැති ධූරයට සිවිල් වැසියන් පත් කිරීමට අවශ්‍ය බව බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව දැඩි ලෙසම කියා සිටියි. මේ තීරණය ගනු ලැබුවේ නයිජර් රාජ්‍යයේ නියාමෙයිහි සංගමයට අයත් රටවල් 15 හි ප්‍රධානීන් සැප්තැම්බර් 5 වැනි දා රැස් වූ අවස්ථාවේ දී ය. එසේ සිවිල් නායකයන් පත් වන තුරු කලින් පැන වූ සම්බාධක දිගටම පවත්වාගෙන යාමට එහිදී තීරණය කෙරිණි.

අප සහ අනෙකුත් අන්තර්ජාතික පාර්ශ්ව මාලි රාජ්‍යය සම්බන්ධයෙන් ගන්නා පියවරවලට මිලිටරි ජුන්ටාව සහයෝගය දක්වනු ඇතැයි තමන් සිතන්නේ යැයි බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ සභාපති නයිජීරියානු ජනාධිපති ඉසෝෆොව් මහමදොව් මෙහිදී ප්‍රකාශ කළේය. මාලි ජනතාවට ද එම විශ්වාසය ම ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීවේය. මාලි ජනතාවගේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කළ යුතුව ඇතැයි ද ඔහු පැවැසීය.

මේ අතර එම්පීෆෝ ලෙස ප්‍රකට සැප්තැම්බර් 4 ජනප්‍රිය බලවේගය මිලිටරි ජුන්ටාවට සහාය පළ කරමින් නිදහස් මාවතට රැස් වී විශාල රැලියක් පැවැත්වීය. සැප්තැම්බර් 4 ජනප්‍රිය බලවේගය ඓතිහාසික එකතුවකි. ඔවුන්ගේ අරමුණ වන්නේ මාලි හමුදාවට සහාය පළ කර හමුදාවට ස්ථාවර පාලනයක් ඇති කර ගැනීමට සහාය ලබා දීමයි. එසේම හමුදාව වටා එක්රැස් වී ත්‍රස්තවාදයට සහ අනාරක්ෂිතභාවයට එරෙහිව කටයුතු කිරීමට ජනතාව පෙළ ගැස්වීමට මේ මහා ජන රැලිය උත්සාහයක් දැරීය.

හමුදාව සහ සිවිල් සමාජය අතර සංවාදය ආරම්භ වූයේ ඉකුත් සෙනසුරාදාය. මේ සාකච්ඡාවල අරමුණ වූයේ අගෝස්තු 18 වැනි දා ජනාධිපති ඊබ්‍රහීම් බවුබකර් කෙයිටාට එරෙහිව ඇති වූ කුමන්ත්‍රණයේ දී සිවිල් ජනතාව හමුදා නායකත්වයට සහාය දෙන්නේ කෙසේ ද යන්නයි. මිලිටරි ජුන්ටාව සහ ජනතාවගේ ගැළවීම සඳහා වූ ජාතික කමිටුව අදියර දෙකකින් සමන්විත ජාතික උපදේශන සැලැස්මක් යෝජනා කරයි. උපදේශනය ලබා දීමේ පළමු සැලැස්ම යෝජනා කළේ සැප්තැම්බර් 5 වැනි දා බමාකෝ කලාපයේ ආණ්ඩුකාරවරුන් පැවැත්වූ වැඩමුළු පෙළක ස්වරූපයෙනි. දෙවැනි අදියර 2020 සැප්තැම්බර් 10 සහ 12 අතර බමාකෝවල නියෝජිතයන් මෙන්ම මාලිවල සියලුම කලාපවල නියෝජිතයන් සහ මාලි ඩයස්පෝරාවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වීමට නියමිතව තිබිණි. උපදේශනවල දෙවැනි අදියරේ දී දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සමාජය, වෘත්තීය සමිති, සන්නද්ධ හමුදා වෙනුවෙන් සාම ගිවිසුමට අස්සන් කරන්නන් පරිවර්තනීය සමය ගැන පැහැදිලි අවබෝධයෙන් පැමිණිය යුතුය.

මාලි ජාතික සභාවේ ව්‍යවස්ථාපිත පැවැත්ම සහ සම්මුතිය පවත්වාගෙන යාම සඳහා නැවත ජාතික සභාව ස්ථාපිත කරන ලෙස එරට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ 93කට වැඩි පිරිසක් බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව වෙත සන්දේශයක් යොමු කරමින් කීහ.

බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ සහ අන්තර්ජාතික ප්‍රජාවේ නොනවතින පීඩනය හමුවේ මිලිටරි ජුන්ටාව සහ ජනතාවගේ ගැළවීම සඳහා වූ ජාතික කමිටුව සිවිල් නායකත්වයක් වෙනුවෙන් සුදුසුම යන්ත්‍රණයක් සෑදීමට මහන්සියක් ගනියි. එහෙත් මෙහිලා වැදගත්ම කාරණය වන්නේ රටේ උතුරු කොටස පාලනය කරන සීඑම්ඒ වැනි සන්නද්ධ සංවිධාන ද මෙම සාකච්ඡා ක්‍රියාවලියේ කොටසක් බවට පත් කිරීමෙන් ස්ථිරසාර සාමය මාලි දේශයට රැගෙන ඒමයි.

චන්න සංජීව මාලි සිට

පරිවර්තනය

බුද්ධි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();