කොරෝනා වංසගතයෙන් පසු පැවැති පළමු ටෙස්ට් තරගාවලියෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් 2-1කින් පරාජය කළ එංගලන්තය ජයග්‍රාහී ගමන ඉදිරියට ගෙන යමින් සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයන්ට හැකි විය.
සිව් දිනකින් නිමා වූ තරගයේ ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය එංගලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කළ ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය. 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ඔහු, පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් ඉනිමට එක් කර ගත්තේය. එංගලන්තය ලකුණු 117කට කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව තිබියදී ජොස් බට්ලර් සමඟ එක් වූ වෝක්ස් ලකුණු 139ක සබඳතාවක් ගොඩනගමින් කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කිරීමට සමත් විය. යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමට වරදට හසුව බට්ලර් දැවී යන විට එංගලන්තයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 21ක් පමණි. හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් රැස් කළ බට්ලර් ඒ සඳහා පන්දු 101ක් වැය කර තිබිණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 326ක් රැස් කළ අතර, එංගලන්තයට පිළිතුරු ලෙස රැස් කළ හැකි වූයේ ලකුණු 219ක් පමණි. ලකුණු 107ක පළමු ඉනිමේ වාසියක් සමඟින් පිටියට පිවිසි පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 169කට සීමා කිරීමට සමත් වූ එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 277ක ඉලක්කයක් හිමි විය.
ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ ජයග්‍රහණය සඳහා කණ්ඩායමක් 200කට වඩා හඹා ගිය තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර එංගලන්තය 2008දී නවසීලන්තයට එරෙහිව 294/4ක් ද 2004දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 231/3ක් ද ලබා ගෙන තිබේ.මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන හෙයින් ජයග්‍රාහී එංගලන්තයට ප්‍රසාද ලකුණු 40ක් හිමි විය. ඔවුන් මේ වන විට තෙවැනි ස්ථානයේ පසු වන්නේ ලකුණු 266ක් සමඟිනි.
දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 13 වැනිදා සදම්ප්ටන්හිදී ආරම්භ වෙයි.
0 Comments