ශ්රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන සභාපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ සුගතදාස පිටියේ පැවැති පළමු තරගයෙන් ජය අත්කර ගැනීමට බ්ලූස්ටාර් පිල සමත් විය. මොරගස්මුල්ල ක්රීඩා සමාජය සමඟ පැවැති මේ තරගයේදී බ්ලූස්ටාර් පිල ගෝල් 3ක් වාර්තා කළ අතර, මොරගස්මුල්ල පිලට ලබා ගත හැකි වූයේ ගෝලයක් පමණි.
බ්ලූස්ටාර් පිල වෙනුවෙන් අයි.සී. උවංක ගෝල් 2ක් සහ සහ එඩිසන් සිගරෝලා ගෝලයක් වාර්තා කළහ. මොරගස්මුල්ල පිල වෙනුවෙන් එරන්ද ප්රසාද් එකම ගෝලය වාර්තා කළේය.
මේ අතර ඊයේ තුරඟ තරග පිටියේ පැවැති අප්කන්ට්රි ලයන්ස් සහ ජාවාලේන් කණ්ඩායම් අතර, තරගය ගෝල් 3-3ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
ජාවාලේන් පිල වෙනුවෙන් හර්ෂණ සුමුදු ගෝල් 2ක් සහ අබ්දුල් ලතීෆ් ගෝලයක් වාර්තා කළ අතර, රිකාෂ් මොහොමඩ්, නෙතූෂ සම්පත් සහ ඉම්බ්රාහිම් ඔලින්ජි අප්කන්ට්රි ලයන්ස් පිල වෙනුවෙන් ගෝල් වාර්තා කළහ.
ජාතික පාපන්දු කණ්ඩායමට ක්රීඩකයන් සොයා ගැනීම සහ කොරෝනා උවදුරෙන් ගිලිහී ගිය ක්රීඩාශීලීත්වය යළි නඟා සිටුවීමේ අරමුණින් නව පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතාගේ අදහසකට අනුව සංවිධාන කරන මේ තරගාවලියේ දෙවැනි දිනය වන අද පස්වරු 3.30ට යුද හමුදාව සහ සුපර් සන් කණ්ඩායම් සුගතදාස පිටියේදීත්,
රෙඩ් ස්ටාර් සහ සෝන්ඩර්ස් තුරඟ තරග පිටියේදීත් තරග වදින අතර, පස්වරු 6.30ට සී හෝක්ස් - සෙරන්ඩිබ් (සුගතදාස පිටිය) සහ රත්නම් - පොලීසිය (තුරඟ තරග පිටිය)තරග වැදීමට නියමිතය.
0 Comments