Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආයෝජන-සංචාරක ක්ෂේත්‍ර නංවන්න ඉන්දියාවේ සහාය

Author(s): 
නිමල් රාජපක්ෂ
මහින්ද අලුත්ගෙදර

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට ආයෝජන, සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමඟ පෙරේදා (02) එම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පත්වීමෙන් පසු හමු වූ පළමු කැබිනට් ඇමැතිවරයා වන්නේ ද ඇමැති ප්‍රසන්න රණතුංග මහතායි. කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෝකයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනයවීමත් සමඟ ශ්‍රී ලංකාවට ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව කීවේය.

ඉන්දියානු ව්‍යාපාරිකයන් මෙරට නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසූ ඉන්දීය මහ කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාව, ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික නිෂ්පාදනය හා ඉන්ධන පිරිපහදුව සඳහා මෙරට ආයෝජනයන්ට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බව ද කීවේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු දෙරට අතර ඒකාබද්ධ ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොමසාරිස්වරයා එකඟතාව පළ කළේය. උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයන් සවි බල ගැන්වීමට නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250ක ප්‍රදානයක් ලබා දී තිබේ. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත මේ මධ්‍යස්ථානය පිළිබඳ ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනින. එහි කටයුතු කඩිනමින් අවසන් කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය.

ඉන්දියානු ජාතිකයන් සිය විවාහ මංගල්‍යය උත්සව ශ්‍රී ලංකාවේ දී ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවැසු ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකිකයන් බෞද්ධ ආගමික සිද්ධස්ථාන නැරැඹීමට ඉන්දියාවට යන්නාක් මෙන් ඉන්දියානුවන් රාමායනයට සම්බන්ධ ස්ථාන නැරැඹීමට ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බව ද කීවේය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ මේ සම්බන්ධයෙන් සංචාරක අධිකාරිය සිය අවධානය යොමු කර ඇති බවයි. මඩු වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මඩු ප්‍රදේශයේ ඉදි කරන නව නිවාස ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය. ඒ සඳහා ද ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ආධාරයක් ලබා දී තිබේ. නිවාස 144 ක් මේ අනුව ඉදිකිරීමට නියමිතයි.

යාපනය පළාලි ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහි දී දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරිණ. පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව රුපියල් මිලියන 300ක් ලබා දී තිබේ. ඊට අදාළ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබීමට ද මේ සාකච්ඡාවේ දී ඉන්දියානු මහ කොමසාරිස්වරයා හා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එකඟතාව පළ කළහ.

ඉන්දියානු මහ කොමසාරිස්වරයාට මෙහි දී කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම සහ සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ද ඇමැතිවරයාගෙන් විමසීමක් කළේය. අගෝස්තු 01 වැනිදාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී විශ්වාසය පළ කළේය. අගෝස්තු 01 වැනිදා ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇතත් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ඊට පෙර අවසන් වුවහොත් අගෝස්තු 01 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි බව ද ඇමැතිවරයා කීවේය.

මේ සාකච්ඡාවට කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();