Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහරාන්ට දේශපාලන රැකවරණ තිබුණු බවට බුද්ධි තොරතුරු තිබිලා

පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන්ට දේශපාලන රැකවරණ තිබී ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේදී ඊයේ (01) අනාවරණය විය.

දෙවැනි දිනටත් කොමිසම හමුවේ ඊයේ (01) සාක්ෂි දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තරංග රුවන් කුමාර මහතාගෙන් කොමිසම ඒ ගැන කළ ප්‍රශ්න කිරීමේදී සඳහන් කරනු ලැබුවේ සහරාන්ට දේශපාලන රැකවරණය ලැබුණු බවට බුද්ධි අංශ වාර්තා තිබුණු බවය.

රැකවරණය ලැබුණේ කුමන දේශපාලනඥයන්ගෙන්දැයි කොමිසම තරංග රුවන් කුමාර මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කරනු ලැබුවේ එවකට සිටි පළාත් සභා මන්ත්‍රීවරයකු වූ සිබිලි ෆාරුක්ගෙන් බවය.

වෙනත් දේශපාලනඥයන්ගෙන් රැකවරණය ඔහුට ලැබුණේ දැයි කොමිසම කළ විමසුමේදී තරංග රුවන් කුමාර මහතා සඳහන් කරනු ලැබුවේ නිෂ්චිතව ඒ ගැන කිසිවක් සඳහන් කළ නොහැකි බවය.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ගැන විමර්ශන පැවැත්වීමට පත් කළ ජනාධිපති කොමිසම එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ ඊයේ (01) පස්වරු 1.00 ට පමණය.

මෙහිදී මුලින්ම කොමිසමේ අවධානයට ලක්වූයේ සහරාන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට 2018 වසරේ මුල සිට යොමුකරන ලද බුද්ධි වාර්තා සම්බන්ධයෙනි. එම බුද්ධි වාර්තාවලින් 14ක්ම පූජිත් ජයසුන්දර මහතා විසින් යොමුකර ඇත්තේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයටය. එම වාර්තා යොමුකර ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ පමණක් බවද කොමිසමේදී අනාවරණය විය. එම බුද්ධි වාර්තාවන්ට අදාළ ගොනු 14ම කොමිසම වෙත තරංග රුවන් කුමාර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය. එම ගොනු වෙන වෙනම කොමිසමේ අවධානයට යොමු වූ අතර, එහිදී හෙළිවන්නේ 2018 වසරේ සිට පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වාම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සහරාන් සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන නිසි උපදෙස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබාදී නැති බවය. සහරාන් සම්බන්ධයෙන් ඒ සෑම බුද්ධි තොරතුරකටම අදාළව විමර්ශන වාර්තා පොලිස්පතිවරයාට යොමුකර ඇතත් ඒ සෑම වාර්තාවකටම පොලිස්පතිවරයා විසින් පෙරලා ලබාදී ඇති එකම උපදෙස වී ඇත්තේ වැඩිදුර වාර්තා ඉල්ලා සිටීම පමණක් බවද කොමිසමේදී හෙළි විය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය දිසානායක මහතාගේ මෙහයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තරංග රුවන් කුමාර මහතා සාක්ෂි ලබාදුන්නේය.

එහිදී මුලින්ම කොමිසම හමුවට ඉදිරිපත් කරනුයේ පොලිස්පතිවරයා විසින් 2018 වසරේ ජනවාරි 16 වැනිදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට යොමු කරන ලද බුද්ධි වාර්තාවක් සහ ඊට අදාළව පොලිස්පතිවරයාට විටෙන් විට යොමු කරන ලද විමර්ශනයන් ඇතුළත් ගොනුවකි.

ගයාන් කුමාර වීරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();