මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලට සමාන සහ සාධාරණ අවස්ථා ලබාදෙමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් මැතිවරණය පවත්වන්නේ නම් රටේ ජනතාවගේ ආරක්ෂාව, මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු වීම, දේශපාලන පක්ෂවලට නිදහසේ තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතර ගෙන යා හැකි වීම යන කාරණා මූලික කාරණා දෙක සංතෘප්ත විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
කෝවිඩ් උවදුර ක්‍රමයෙන් ඉහළ නඟිද්දිත් ආණ්ඩුවේ ප්‍රධානතම බල වුවමනාව වුණේ මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමයි. මාර්තු 19 නාමයෝජනා බාරදීම අවසන් වීමෙන් පසුව වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසම අප්‍රේල් 25 ඡන්දය නොපැවැත්වීමට තීරණය කළා. කොමිසමේ මෙම තීරණය නිසා තමයි, දරුණුම වසංගත තත්ත්වයක් තියෙද්දි මැතිවරණයක් පැවැත්වෙන එක වළක්වා ගන්න පුළුවන්කම ලැබුණේ. මේ දිනය වෙනස් කිරීමේදී මාස 03ක් තුළ පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මත ව්‍යවස්ථාව සමඟ ගැටීමක් සිදුවිය හැකි බැවින් ජනාධිපතිවරයාට ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ඔවුන් කිවුවා. නමුත් අපි දැක්කා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් කළේ නැහැ. ඒ මොහොතේ ජනාධිපතිවරයා එම පියවර ගත්තානම් මේ ප්රශ්නය මෙපමණ දිග්ගැස්සීමට හෝ සංකීර්ණ වීමට ඉඩක් නැහැ. මාස 03 තුළම මැතිවරණය පැවැත්විය යුතුද? එසේ නොවුණහොත් ගැටලුවක් මතුවන්නේද? යන කරුණ සරලව විසඳාගත හැකිව තිබුණා. එසේ නොවූ නිසා වෙනත් පාර්ශ්ව තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට අධිකරණය වෙත ගියා.
මැතිවරණ කොමිසම මැතිවරණය සඳහා තවත් දිනයක් ලෙස ජුනි 20 දින තීරණය කළා. ඒ වන විට රටේ වසංගත තත්ත්වය පාලනය වීමක් සිදුවේවියැයි ඔවුන් අපේක්ෂා කළා. මේ අතරතුර සති දෙකක කාලයක් පෙත්සම් විභාගයට ගත යුතුද නැද්ද යන්න දීර්ඝ වශයෙන් සලකා බැලුණා. ඊයේ දිනයේ ඒ සම්බන්ධ තීරණය ලැබුණා. එහි සඳහන් වෙනවා, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමේ බලයක් නොමැති බව. එම පෙත්සම් සලකා බලන අතරතුර ජුනි 20 මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම විසින් අධිකරණයට දැනුම් දුන්නා. රට ‘පාලිත වසංගත තත්ත්වයට’ පත්වීමෙන් පසුව සති 09ත් 11ත් අතර කාලයකින් මැතිවරණය පැවැත්විය හැකි බව ඔවුන් කිව්වා.
සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉදිරිපත් වන නිර්දේශ සැලකිල්ලට ගනිමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම කිව්වා. ඒ සති 09ත් 11ත් අතර කාලයකින් පසුවයි. ඒ සඳහා රට සාමාන්‍ය තත්ත්වයට පත්විය යුතුයි. අද සහ හෙට දවස් 02ත් ඇඳිරි නීතිය රට පුරා පනවා තිබෙනවා. අද දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා. තවමත් රාත්‍රී 10 සිට අලුයම 04 තෙක් දිනපතා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මෙවැනි තත්ත්වයකදී රට සාමාන්‍ය තත්ත්වයට පත්වුණායැයි කාටවත් කියන්න බැහැ. තවමත් රටේ සාමාන්‍ය තත්ත්වය නිර්මාණය වී නැහැ.
අපි පක්ෂයක් ලෙස ආරම්භයේ සිට අවධාරණය කළ කරුණ තමයි මැතිවරණය පැවැත්වීම රටේ ප්රජාතන්ත්රවාදයේ මූලික ලක්ෂණයක් කියන එක. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ප්රජාතන්ත්රවාදය ඔසවා තබන මූලික කුළුණු තුනයි. එම නිසා පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි. එහෙත් පවතින තත්ත්වය යටතේ එය පැවැත්විය යුතු වන්නේ මූලික කරුණු තුනක් වෙත අවධානය යොමු කරමිනුයි. පළමුවැන්න රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවයි. කෝවිඩ් වසංගතය වර්ධනය වෙමින් මිනිසුන්ගේ ජීවිත අවදානමට ලක්විය යුතු නැහැ. ඒවගේම මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි. ඔවුන් මැතිවරණ දිනයේ පමණක් නොව මැතිවරණයට පෙරත් මැතිවරණ දිනයේත් මැතිවරණ දිනයෙන් පසු දින කිහිපයකුත් රාජකාරි කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව සහතික විය යුතුයි. එසේ නොවුණොත් තවත් වටයකින් මෙම වසංගතය වර්ධනය වීමට ඉඩක් තිබෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලට නිදහසේ තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතර ගෙන යා හැකි විය යුතුයි. රැස්වීම් පැවැත්වීමට, පත්‍රිකා බෙදීමට, ජනතාව මුණගැසීමට, මාධ්‍ය මගින් ප්‍රතිපත්ති අදහස් ඉදිරිපත් කිරීමට සාධාරණ ඉඩක් හා සමාන අවස්ථා ලැබිය යුතුයි.
දැනට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉදිරිපත් වී තිබෙන්නේ පුරවැසියන් ලෙස අපි පිළිපැදිය යුතු කරුණුයි. ‘පාලිත වසංගත තත්වයක්’ යටතේ කළ යුතු දේවල් අඩංගු නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. මුඛ ආවරණ පැළඳීමේ සිට ගමනාගමන කටයුතු කළ යුතු ආකාරය ඇතුළු ජනජීවිතයට අවශ්‍ය අරක්ෂණ ක්‍රමවේදයන් එහි සඳහන් වෙනවා.
නදී මාණික්කගේ
0 Comments