Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ආරක්ෂාව වළ පල්ලට යවන්න එපා

ජාතික ආරක්ෂාව වළපල්ලට නොයවා මැර කණ්ඩායම් නීතිය හමුවට ගෙනැවිත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අවධාරණය කරයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පෙරේදා (02) රාත්‍රියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

වෙඩිතැබීම් ජන සමාජය තුළ සිදු වීම ජාතික ආරක්ෂාවට මරු පහරක් බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

"අපේ රටේ ජන සමාජයේ මේ මො⁣හොත වන විට භයංකාර, තර්ජන ගර්ජන, වෙඩිතැබීම් විශාල වශයෙන් ව්‍යාප්ත වෙනවා. මෙයින් ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල වෙලා තියෙනවා. අපි අහන්න කැමතියි අපේ රටේ ජනතාවට ව්‍යාපාර කරගෙන, සාමදානව නිදහස් ජන ජීවිතයක් ගත කරන්නට අවස්ථාවක් නැද්ද? ඒ අවස්ථාව සුරකින්නට රජය කටයුතු කරන්නේ නැද්ද? අද වන විට නීතිරීති උල්ලංඝනය කරමින් තර්ජනකරුවන්, මැරවරයින් විවිධ ව්‍යාපාර ස්ථානවලට හානි කරනවා. විවිධ පුද්ගලයන්ට හානි කරනවා. පෞද්ගලික හේතු මත අවි අමෝරාගෙන ජනතා නිදහසට මරු පහරක් එල්ල කරනවා. රජ⁣යෙන් මම අහන්න කැමතියි කෝ ජාතික ආරක්ෂාව? කෝ රටේ ජනතාවට තමුන්නාන්සේලා පොරොන්දු වුණ රැකවරණය? අද අමු අමුවේ නීතිරීති උල්ලංඝනය කරනවා. මැරවරයින්, කුඩුකාරයින් රජ වෙලා. මේ අයගේ ක්‍රියාකාරකම්වලට කාගේහරි රැකවරණයක් තියෙනවද? දේශපාලන රැකවරණ ති⁣යෙනවද? කවුරුහරි මේවට උනන්දු කරනවද? ඇයි රජය පසුබට වන්⁣නේ නීතිය කඩන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න? තමුන්නාන්සේලා ජාතික ආරක්ෂාව ගැන ලොකුවට කතා කරනවා. මැරවරයින් රජ කරන සමාජයකට අපේ රටේ ඉඩක් නෑ. රජයේ වගකීම තමයි මැරවරයින් නීතිය හමුවට ගෙන්වලා දැඩි දඬුවම් ලබා දීම. උණ්ඩෙන්, බෝම්බෙන්, බයිනෙත්තුවෙන්, කිණිස්සෙන් විපතට පත් වන ජන සමාජය මුදවාගන්නට රජය දැඩි තීරණ ගන්න ඕන. සාමය ස්ථාපනය කරන්නට කටයුතු කරන්න ඕන. පුද්ගලයන්ට ජීවිතය නිදහසේ ගත කිරීමට ඇති අයිතිය සුරකින්නට ඕන. මේ මැරවර කණ්ඩායම නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් ලබාදෙන්න. ජන සමාජයේ සියලු දෙනාට සුරක්ෂිත දේශයක් ඕනේ. ජාතික ආරක්ෂාව වළපල්ලට නොයවා මේ මැර කණ්ඩායම නීතිය හමුවට ගෙනෙන්නැයි මම රජයෙන් ඉල්ලනවා."

ශිවන්ති ප්‍රනාන්දු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();