සී. සී. සී. පිටිය වටේ පොලිස් ආරක්ෂාවක්:සත්කාරක ෂැන්ග්‍රිලා සේවකයන්ටත් දින 12ක් ගෙදර යන්න බෑ
කොරෝනා වසංගතය හේතුවෙන් දින 80ක පමණ කාලයක් නවතා දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් හා ක්‍රියාකාරකම් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තීන්ට හා ජගත් ක්‍රිකට් කවුන්සිල නීති රීතීවලට අනුකූලව අද සිට යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනියි.
ඒ අනුව ජාතික පිලේ ක්‍රීඩකයින් 13ක් ටොරින්ටන් පෙදෙස සී. සී. සී. පිටියේදී පුහුණුවීම් හා ඔවුන් නේවාසිකව සිටින ෂැන්ග්‍රිලා හෝටලයේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය උපයෝගී කර ගනිමින් ව්යායෑම්වල නිරතවීමට නියමිතය. ජාතික සෞඛ්‍ය රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන මෙම පුහුණු කඳවුරේදී ටොරින්ටන් පෙදෙස සී. සී. සී. ක්‍රීඩාංගණයේ පුහුණු සැසිය අතරතුර කිසිදු බාහිර පුද්ගලයකුට ක්‍රීඩාංගණයට ඇතුළුවීමේ අවස්ථා අහිමිවන අතර විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී ඇත.
ක්‍රීඩකයින්ට සත්කාරකත්වය සපයන ෂැන්ග්‍රිලා හෝටල් සේවක පිරිසද පුහුණු කඳවුර පැවැත්වෙන දින 12ක කාල සීමාව තුළ වෙනසකට භාජනය නොවන අතර ක්‍රීඩකයින් හෝටලයෙන් පිටත්ව නිවෙස් බලා යනතුරු සේවකයින්ටද නිවෙස් වෙත යෑමට අවස්ථාව හිමි නොවේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලකා හෝටල් කළමනාකාරීත්වය මෙම තීරණය ගෙන ඇත.
මෙම පුහුණු සැසි සදහා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න, පාකිස්තානයේදී විස්සයි 20 නායකත්වය දැරූ දසුන් ශානක ඇතුලත්ව සිටිති. වේග පන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රජිත දඟ පන්දුයවන ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය හා පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක හා කුසල් පෙරේරා පුහුණු සැසියට කැදවා ඇත.
පුහුණු වැඩමුළුවට වේග පන්දු යවන්නන් 6ක්, දඟ පන්දු යවන්නන් 3ක් සහ පිතිකරුවන් දෙදෙනෙක් කැදවීමට තීරණය කළද පසුව දිමුත් හා දසුන් කැඳවීමට පුහුණු අංශය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවැසීය. සෑම අංශයකින්ම දක්ෂතා දක්වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා සිය නිවෙස් වල සිටිමින් ශාරීරික යෝග්‍යතා කටයුතු වල නිරත වන බව ද මෙල් මහතා සදහන් කළේය.
“ මේ ඇරඹෙන පුහුණුවීම් පන්දු යැවීමට සහ පන්දු රැකීමට පමණක් සීමා වෙනවා. පන්දුවට පහර දීම සම්බන්ධව කිසිදු ක්‍රියාකාරකමක් මේ වැඩසටහනට ඇතුළත් නෑ. වේග පන්දු යවන්න්න දීර්ඝ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීම හේතුවෙන් වැඩියෙන්ම ආබාධ වලට ලක්විය හැකි පිරිසක්. ඒ නිසා වේග පන්දු යවන්නන්ට පුහුණුවීම් වලදී වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට පියවර ගත්තා. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ මාර්ගෝපදේශන මාලාවට ඇතුලත්. ඔවුන්ගේ පැහැදිළි කිරීම් අනුව වේග පන්දු යවන්නන් වෙත දැනුම් දී සිටියේ පුහුණු අභ්‍යාස සිදු කිරීමේදී වඩාත් පරෙස්සම්වන ලෙසයි“ මෙල් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්රමුඛ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සිවු දෙනෙකු මෙම පුහුනු සැසි වලට සහභාගී වෙති.
0 Comments