Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 80ක පොදු රඳ මඩුලු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව වැඩිම පදක්කම් දිනා ගනියි

 ශ්‍රී ලංකාව සහභාගී වූ වසර 80ක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් ගොල්ඩ් කෝස්ට් ක්‍රීඩා උළෙලේදී දිනා ගැනීමත් සමග ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට නැවුම් බලාපොරොත්තු ඇති කරයි. පෙරේදා නිමාව දුටු ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් සටහන් කොට මෙම ඓතිහාසික සටහන තැබූහ.

අවසන් වරට පැවැති 2014 ග්ලාස්ගෝව් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104කින් බර ඉසිලීමේ ක්‍රීඩක සුදේෂ් පීරිස්ගේ රිදී පදක්කමට ශ්‍රී ලංකා ජයග්‍රහණ සීමාවී අවම තත්ත්වයකට වැටී තිබූ හෙයින් මෙවර දක්ෂතා සැනසිලිදායකවී තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක වැඩිම පදක්කම් ගණනක් මෙයට පෙර ශ්‍රී ලංකාව දිනා තබුණේ 1950දී ඕක්ලන්ඩ් ක්‍රීඩා උළෙලේදී වන අතර එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

මෙවර ක්‍රීඩා 15කට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80ක් හා නිළධාරීහූ 39ක් සහභාගී වූ අතර, පදක්කම් හිමි වූයේ බර ඉසිලීමෙන් හා බොක්සිං ක්‍රීඩාවලින් පමණි. බර ඉසිලීමෙන් ඉන්දික දිසානායක රිදී පදක්කම දිනාගත් අතර චතුරංග ලක්මාල් හා හංසනී ගෝමස් ලෝකඩ පදක්කම් දිනා ගත්හ. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනූෂා කොඩිතුවක්කු මෙන්ම තිවංක රණසිංහ හා ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. මෙම ක්‍රීඩා උළෙලකදී ශී‍්‍ර ලංකාවට බොක්සිං පදක්කම් හිමි වූයේද වසර 68කට පසුවීම තවත් විශේෂ සිදුවීමකි.

පදක්කම් සටහනේ රටවල් 71ක් අතුරින් ශ්‍රී ලංකාව 31වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාවට ඉහළින් දකුණු ආසියාවේ ඉන්දියාව රන් පදක්කම් 26ක් රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 20ක් ගෙන සමස්ත සටහනේ තෙවැනි ස්ථානයට පත්විය. පාකිස්තානය රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් 4ක් ගෙන 24වැනි ස්ථානයේ හා බංග්ලාදේශය රිදී පදක්කම් 2ක් ගෙන 30 වැනි ස්ථානයේ සිටී. කෙසේ වුවද දකුණු ආසියානු රටවල් අතුරින් පදක්කම් එකතුව අනුව ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ඉන්දියාවට පමණි.

සත්කාරක ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 80ක් රිදී පදක්කම් 59ක් හා ලෝකඩ පදක්කම් 59ක් ගෙන පළමු ස්ථානයට පත්වූ අතර එංගලන්තය රන් පදක්කම් 45ක් රිදී පදක්කම් 45ක් හා ලෝකඩ පදක්කම් 46ක් ගෙන තෙවැනි ස්ථානයට පත් වූහ.

ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව්ව වූ කාන්තා මැරතන් තරගයේදී හිරුණි විජේරත්න පැය 2: 49. 38කින් 11 වැනි ස්ථානයට පත්වූ අතර රන් පදක්කම දිනාගත් නැමීබියාවේ හෙලෙයිලා ජොහාන්සා පැය 2: 32. 40කින් රන් පදක්කම දිනා ගත්තාය. මෙම තරගය පෙරවරු 7.20ට ආරම්භවූ හෙයින් තරගය අතරතුර අධික උෂ්ණත්වයක් පැවැතීම දක්ෂතා අතරට පිවිසීමට ප්‍රධාන බාධකයක් වූ බව හිරුණි ඇතුලු ක්‍රීඩිකාවෝ පැවැසූහ. එබැවින් ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික දක්ෂතා හෝ ඉස්මතුවීමක් මෙහිදී දක්නට නොළැඹුණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් අවසන් පූර්ව වටය දක්වා ශ්‍රී ලංකා නාමය සටහන් කළ සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක පිරිමි යුගල තරගයේදී මැලේසියාව හමුවේ වට 2-0කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකාව පරාජය කළ මැලේසියාව අවසන් තරගයේදී ඉන්දියාවට බැටදී රන් පදක්කම සතුකර ගත්තේය.

සත් සාමාජික රගර් මූලික වටයේ තරග තුනේදීම ශ්‍රී ලංකාව අසරණ තත්ත්වයට ඇද වැටුණි. ශ්‍රී ලංකා රගර් කණ්ඩායම තෝරා ගැනීමේදී දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනකුට අවස්ථාව අහිමි කළේ යැයි නැගුනු චෝදනාවේ සැබෑ ස්වරූපය මෙම ක්‍රීඩා උළේලේදී මැනවින් කැපී පෙණුනි. ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල ෆීජී හමුවේ 63-5කින්, වේල්සය හමුවේ 42- 12කින් හා උගන්ඩාව හමුවේ 33-10කින් අන්ත පරාජයකට පත් විය.

හෙල්ල විසිකිරීමේදී සම්පත් රණසිංහ මීටර් 70. 15කින් 12 වැනි ස්ථානයට පත්වූ අතර මීටර් 86. 47ක් දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ නරේජ් චොප්රා රන් පදක්කම දිනා ගත්තේය.

හිමාෂ ඒෂාන්, ෂෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රාෆු හා විනෝජ් සුරංජය සහභාගීවූ මීටර් 100 සහය දිවීම තත්පර 39. 08කින් 6වැනි ස්ථානයට පත්වෙද්දී එංගලන්ත ක්‍රීඩකයෝ 38. 13කින් රන් පදක්කම දිනා ගත්හ. වසර 68කට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමක් තරග බිමට පිවිසි අතර එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිවීම විශේෂත්වයකි. 2015දී චීනයේ වූහෑන් හී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙම ක්‍රීඩකයන් සිවුදෙනා තත්පර 39. 38කින් පිහිටුවා තිබූ මීටර් 100 සහය දිවීමේ ශ්‍රී ලංකා වාර්තාව මෙම ක්‍රීඩා උළෙලේදී මකා දැමීමට සමත් විය.

සමාප්ති උළෙල ගෝල්ඩ් කෝස්ට් කැරාරා ක්‍රීඩාංගණයේ පැවැති අතර මීළඟ 2022 ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය එංගලන්තයේ බර්මින්හැම් නගරය වෙත පිරිනැමීමෙන් චමත්කාර අවසානයක් සටහන් විය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();