සංගාට නායකත්වයක්: මුරලිත් කණ්ඩායම් දෙකක
ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ලොව ප්‍රධාන පෙළේ ක්‍රිකට් සඟරාවක් වන විස්ඩන් සඟරාව මඟින් 2000 දශකයේ ක්‍රිකට් තරගබිමේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ගේ සමන්විත ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් නම් කිරීමට පසුගියදා කටයුතු කළේය. වසර 2000 ජනවාරි මස 1 වැනිදා සිට 2009 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා තෙක් ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් පදනම් කර ගනිමින් මේ කණ්ඩායම් තෝරා ගැනීමට කටයුතු කර ඇති අතර ඊට ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයන් තිදෙනෙක් එක්කර තිබේ. ඒ සුපිරි පිතිකරුවකු වූ කුමාර් සංගක්කාර සමගින් දක්ෂ දඟ පන්දු යවන්නන් දෙදෙනකු වූ මුත්තයියා මුරලිදරන් සහ අජන්ත මෙන්ඩිස්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වූ කුමාර් සංගක්කාර විස්සයි 20 කණ්ඩායමේ නායකයත්වයට තෝරා ගෙන ඇති අතර ටෙස්ට් කණ්ඩායමේ පිතිකරුවකු ලෙසද එක්කර තිබේ. ලොව මෙතෙක් බිහිවූ සුපිරිම දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වලට ඇතුළත් කර ඇති අතර සංගක්කාරගේ නායකත්වයෙන් යුතු විස්සයි 20 පිලට අජන්ත මෙන්ඩිස් එක්කර ඇත.
විස්සයි 20 තරග 56කදී ලකුණු 1382ක් රැස් කර ඇති සංගක්කාර ඊට අර්ධ ශතක 8ක් ඇතුළත් කරගෙන ඇත. ටෙස්ට් පිටියේ තරග 134කදී ලකුණු 57.4ක සාමාන්‍යයක් සමගින් ලකුණු 12400ක් රැස් කළ ඔහු මේ තෝරා ගැනීම සඳහා සලකා බැලූ කාලය තුළ ටෙස්ට් තරග 88ක් ක්‍රීඩා කර ඇති අතර ලකුණු 7549ක් රැස් කරගෙන ඇත්තේ 55.10ක සාමාන්‍යයක් සමගිනි. ඊට ශතක 21ක් ඇතුළත්ව ඇත. විස්සයි 20 කණ්ඩායමට නම් කර ඇති අජන්ත මෙන්ඩිස් වසරක පමණ කාලයක් තුළ දැක්වූ දස්කම් හේතුවෙන් මේ කණ්ඩායමට නම් කර ඇත. ඔහු 2008 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ජාත්‍යන්තර පිටියට පිවිසෙන අතර මේ තෝරා ගැනීම් සිදු වූයේ 2009 දෙසැම්බර් 31 දා තෙක් පමණි. සංගා-අජන්ත සමගින් 12 දෙනකුගෙන් යුත් විස්සයි 20 කණ්ඩායමට මැතිව් හේඩන්, විරේන්ද්‍ර ශෙවාග්, කෙවින් පීටර්සන්, ඇන්ඩෘ සීමන්ස්, යූසුප් පතාන්, සහීඩ් අෆ්රිඩි, ඩැනියෙල් විටෝරි, ඩර්ක් නැන්ස්, ආර්.පී.සිං සහ උමාර් ගුල්.
තරග 133කදී කඩුලු 800ක් බිඳ දමමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වීමට සලකා බැලූ කාලය තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 565කි. ඒ තරග 84කදී 20.97ක සාමාන්‍යයක් සමගිනි.
දකුණු අප්‍රිකාවේ හිටපු නායක ග්රැහැම් ස්මිත් ටෙස්ට් කණ්ඩායමෙි නායකයා ලෙස නම් කර ඇති අතර විරේන්ද්‍ර ශෙවාග්, රාහුල් ඩ්රාව්ඩ්, රිකී පොන්ටිං, ජැක් කාලිස්, කුමාර් සංගක්කාර, ඇඩම් ගිල්ක්‍රිස්ට් (කඩුලු රකින්නා), ෂේන් වෝන්, සොයිබ් අක්තාර් සහ ග්ලේන් මැග්‍රාත් ටෙස්ට් පිලට නමි කර තිබේ. මේ කණ්ඩායමට කිසිදු එංගලන්ත හෝ නවසීලන්ත ක්‍රීඩකයකු ඇතුළත් නොවීම විශේෂත්වයකි.
විස්ඩන් නම් කළ 2000 දශකයේ එක්දින කණ්ඩායමටත් ඇතුළත්වූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ මුත්තයියා මුරලිදරන් ය. ලොව වැඩිම එක්දින කඩුලුලාභියා ද වන ඔහු 2000-2009 අතර කාලයේදී එක්දින තරග 205කට ක්‍රීඩා කරමින් කඩුලු 335ක් දවා ගැනීමට සමත් විය. එම කණ්ඩායමේ නායකයා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටිං නම් කර ඇති අතර සචින් තෙන්ඩුලකර්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, කෙවින් පීටර්සන්, ඇන්ඩෘ සීමන්ස්, එම්.එස්.දෝනි, ඇන්ඩෘ ෆ්ලිනටොෆ්, ෂෝන් පොලොක්, බ්‍රෙට් ලී, ග්ලේන් මැග්‍රාත් ඇතුළත් වෙති.
0 Comments