• ජනාධිපතිවරණයට කලින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ඔබ ජනපතිවරණයෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස නම් කරනු ලැබුවා. නව පත්වීම ගැන මොනවද කියන්න තිබෙන්නේ?
මා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය වසර හතර හමාරක් පමණ දැරුවා. ජාතික ආණ්ඩුවක එවැනි තනතුරක් දැරූ පුද්ගලයා මමයි. මොකද: අපි කාලයක් හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කළා. ඒ කාලය තුළ කථික ලැයිස්තු සකස් කිරීම, ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ඒ පිළිතුරු ඇමැතිවරුන්ගෙන් ලබාගැනීම, ඇමැතිවරයකු පාර්ලිමේන්තුවට පැමිණ නැති නම් ඔහු වෙනුවෙන් පිළිතුරු දීම, සභානායකවරයාගේ කටයුතුවලට උදවු වී සභාවේ ගණපූරණය රඳවාගැනීම, කණ්ඩායම් රැස්වීම් කැඳවීම ආදි විවිධ දේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස සිටියදී මට කරන්න වුණා. මේ සඳහා කාගෙත් සහාය මට ලැබුණා. අපේ පැවති රජයට සම්බන්ධව කටයුතු කළ විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහායත් මට නොඅඩුව ලැබුණා. ඒ නිසාම අප විපක්ෂයට ගිය විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මට පැවරීමට විපක්ෂ නායකවරයාත්, එජාප නායකවරයාත්, අනෙකුත් මන්ත්‍රීවරුනුත් තීරණය කර තිබෙනවා. ශක්තිමත් විපක්ෂයක් ලෙස විපක්ෂයේ කාර්යභාරය ඉදිරියට ගෙන යෑමයි අපේ අපේක්ෂාව. ඒ වගේම හැකි ඉක්මනින් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා අපට කළ හැකි සියලු දේ කරන්න අප බලාපොරොත්තු වෙනවා.
හැබැයි අප සාම්ප්‍රදායික විපක්ෂයක් වගේ ආරම්භයේදීම ආණ්ඩුවේ කකුලෙන් අදින්න සූදානම් නෑ. අපේ විපක්ෂ නායකවරයාත් පාර්ලිමේන්තුවේදී කිව්වේ මහාමැතිවරණය තියනකල් බලාගෙන ඉන්න අවශ්‍ය නෑ, පාර්ලිමේන්තුවේ බහුතරය අපි ලබා දෙන්නම්, කඩිනම් අයවැයක් ගෙනැවිත් ජනතාවට පොරොන්දු වූ සහන කඩිනමින් සලසන්න කියලයි.
• ආණ්ඩුවේ කවර ප්‍රතිපත්තිවලටද විපක්ෂය ලෙස ඔබේ සහාය දෙන්නේ?
කෙටිකාලීනව ජනතාවට සැලසිය හැකි සහන රැසක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබෙනවා. ජනපතිවරණයේදී තම පඩිපතට රුපියල් දාහක වැඩිවීමක් අපේක්ෂා කළ වතු කම්කරුවාට මහ මැතිරණයට යෑමට පෙර ඒ රුපියල් දාහ ලැබෙන්න ඕනෑ. ඊට අප සහාය දෙනවා. ඒ වගේම නොමිලේ පොහොර අපේක්ෂාවෙන් ආණ්ඩුවට ඡන්දය දුන් ගොවි ජනතාව ඊළඟ ඡන්දයට යා යුත්තේ නොමිලේ පොහොර ලැබූ පිරිසක් විදියටයි. අඩුගාණේ ජනවාරි මාසේ බැරි නම් පෙබරවාරියේ වත් මේ රටේ පාසල් දරුවා පාසලට යන්න ඕනෑ නොමිලේ දෙනවා කියූ සපත්තු පැලඳගෙන, නොමිලේ දෙනවා කියූ පාසල් බෑගය කරේ දමාගෙනයි. ඒ සඳහා අප සම්පූර්ණ සහාය දෙනවා. ඒ වගේම සමෘද්ධිය ලබමින් සිටි ජනතාවට වියළි ආහාර මල්ලක් දෙනවා කිව්වා. ඒ සිහිනය ඊළඟ ඡන්දයට යන විට මිරිඟුවක් නොවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රටේ සුවහසක් ගෘහිණියන් පසුගිය ජනපතිවරණයට ඡන්දය දාන්න ගියේ එයාලගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරිවී කියලයි. ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන් කපා හැරපු ගෘහිණියන් විදියටයි ඔවුන් ඊළඟ ඡන්දයට මූණ දෙන්න ඕනෑ. අප බොහෝම සුබවාදීව ජනතාවාදීව හිතනවා. ඒ විදියට තමයි විපක්ෂයක් ලෙස අප ආණ්ඩුවට සහාය දෙන්නේ.
• එක්සත් ජාතික පක්ෂය අද වන විට රනිල් පිල හා සජිත් පිල ලෙස ප්‍රධාන පාර්ශ්ව දෙකකට බෙදී තිබෙනවා. ඔබේ තනතුරට මේ මන්ත්‍රීන් දෙපාර්ශ්වයේම සහාය ලැබුණාද?
මට එහෙම පාර්ශ්ව දෙකක් අපේ පක්ෂයේ ඉන්නවා කියලා නම් දැනෙන්නේ නෑ.
• වසර 26ක් එජාප නායකත්වය දැරූ, වසර ගණනාවක් විපක්ෂනායක ධුරය දැරූ, සිව් වතාවක් අග්‍රමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී මන්ත්‍රී ධුරයකට පමණක් සීමා වීමේ ඉඩ-කඩක් පවතිනවාද?
ආණ්ඩු වෙනස් වූ විට අගමැතිකම්, ඇමැතිකම් වෙනස් වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය අහිමි වී කුරූණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා. එය තමයි දේශපාලනයේ ස්වභාවය.
• පාඨලී, රාජිත, රන්ජන් අත්අඩංගුවට ගත් පසු විපක්ෂයේ චෝදනාව වුණේ විපක්ෂ මන්ත්‍රීන් දඩයම් කරන බවයි. යම් යම් වැරදිවලට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගැනීම දඩයමක් විදියට දකින්නේ කොහොමද?
මෙතනදී මගේ අදහසට වඩා වැදගත් වන්නේ ජනතාවගේ අදහසයි. බොහෝ අය කියන්නේ අප දේශපාලන පක්ෂ නියෝජනය කරන නිසා දේශපාලන පක්ෂයේ මතවාදය අනුව කරුණු ඉදිරිපත් කරනවා කියල නේ. මේ මන්ත්‍රීන් ජන පදනමක් ඇති, දක්ෂ කථිකත්වයක් තිබෙන අයයි. ජනතාව මේ ආණ්ඩුව පත් කරගත්තේ සහන ලබාගැනීමේ අපේක්ෂාවෙන්. දැන් ප්‍රමුඛ අවශ්‍යතාව වෙලා තිබෙන්නේ මහජනතාවට දෙනවාය කියූ සහන ටික හරියට සලසා දීමයි. අපි විපක්ෂයක් විදියට ආණ්ඩුවට කියනවා: මේ සහන සලසන්න හැකි අයවැයක් පාර්ලිමේන්තුවට ගේන්න, අපි සම්මත කර දෙන්නම්.
• රනිල් සමඟ සාකච්ඡා අසාර්ථක බවත්, මහා මැතිවරණයට වෙනම පෙරමුණකින් ඉදිරිපත් වන බවත් එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මේ පෙරමුණ හැදෙන්නේ කවරදාද?
අප ජනපතිවරණයට ඉදිරිපත් වුණේ පක්ෂ ගණනාවක් සමඟ එකතු වී පෙරමුණකින්. ඒ පෙරමුණ තවදුරටත් ශක්තිමත් කරලා අප ඉදිරියට ගෙනයනවා. ආණ්ඩුවට ඕනෑ විදියට කැඩෙන්න බිඳෙන්න අෙ ලෑස්ති නෑ. අප කවුරුත් එක් මතයකට ඇවිත් නව මුහුණුවරකින්, වැරදුණ තැන් හදාගෙන ජනතාව ඉල්ලන දේ දීලා ඔක්කෝම එක පොකුරට අත්වැල් බැඳගෙන ඉදිරි ඡන්දවලදී ජයග්‍රහණය කරන්නයි බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් තමයි මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන්නේ.
• ජනපතිවරණයේදී එජාප පෙරමුණට එක් නොවූ අයත් මහාමැතිවරණයේදී එජාප පෙරමුණට එක් වනවාද?
සන්ධානය හැටියට එකතු වන්නේ කවුරුද කියන-එක පිළිබඳ තවම හරි නිශ්චයක් නෑ. ඒත් ජනාධිපතිවරණයේදී අපට නොදුන් ඡන්ද මහාමැතිවරණයේදී අපට එකතු වේවි යන විශ්වාසය අප සතුව තිබෙනවා.
• අද මුළු රටම කතා කරන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට ගැනයි. යහපාලන ආණ්ඩුවේ නිරුවත එයින් පෙනෙන බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් නඟන චෝදනාව ගැන මොකද කියන්නේ?
ඒක දැන් අධිකරණයේ විභාග වන ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා. රන්ජන් පිළිබඳ පක්ෂයක් විදියට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද කියනඑක ඉදිරියේදී බලන්න පුළුවන්. කොහොම නමුත් මා ඒ ගැන වැඩිදුර කතා කරන්න කැමැති නෑ. මං කියන්නේ ජනතාවට මේවා පෙන්න පෙන්න ත්‍රිල්එක දෙන්නේ නැතිව ජනතා ගැටලු විසඳීමයි වැදගත්. ඊළඟ මහාමැතිවරණයට යන තුරු ජනතාවට මේ වගේ චිත්‍රපට බල-බල ඉන්න වෙයිද කියනඑකයි ජනතාව දැන් කල්පනා කරන්නේ.
• රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එජාපයෙන් නෙරපීරමේ සූදානමක් තිබෙනවාද?
ඒකට උත්තර දෙන්න සුදුසුම පුද්ගලයා තමයි පක්ෂයේ මහලේකම්වරයා.
• සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය කියන්නේ එජාප නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් කරගෙන ඉදිරි මහ මැතිවරණයට යා යුතු බවයි. ඊට එජාපය එකඟද?
විවිධ පුද්ගලයන් විවිධ මත දරනවා. පක්ෂයක් හැටියට අප ගන්න තීරණ පක්ෂය ඇතුළේ කතා කරලා රටට කියන්නම් ‘මෙන්න ගත්ත තීරණ‘ කියලා. එතෙක් මගේ පෞද්ගලික මතය වත්, තව කෙනකුගේ මතය වත් පුවත්පත් සාකච්ඡාවල මත වත් ක්‍රියාත්මක කරන්න බෑ. පක්ෂය තුළ කතා කර තීරණ අරගෙන අප අපේ තීරණය දැනුම් දෙනවා.
සංවාදය - ගාමිණි බණ්ඩාරනායක
from silumina
0 Comments