• ජනතා විමුක්ති පෙරමුණ ගමින් ගමට යමින් දින 50ක වැඩසටහනක් පැවැත්වූවා නේද? මොකද වුණේ?
ඒ වැඩපිළිවෙළ ඉතා හොඳින් සාර්ථක වුණා. කොට්ඨාස මට්ටමින් ජන හමු පවත්වා අවසන්. දැන් අපි එහි දෙවැනි පියවරට ඇවිත් ඉන්නේ. දැන් අපි දිස්ත්‍රික් මට්ටමින් ජනතාව හමු වීම ආරම්භ කිරීමට සූදානමිනුයි ඉන්නේ. එහි පළමු පියවර පෙබරවාරි 2 වැනිදා ආරම්භ කරනවා.
• ජනාධිපතිවරණයේදී සිදු වූ පසුබෑමත් සමඟ ඔබ හිතනවාද මේ කාර්යය සාර්ථක වෙයි කියලා?
ජනාධිපතිවරණය හා මහාමැතිවරණය සසඳන්න එපා. ජනාධිපතිවරණයේදී ජය ගන්න හැකි වන්නේ එක් අයකුට පමණයි. 35 දෙනකු තරග කළත් පත් වන්නේ එක් අයෙක් නේ. කාට වත් බෝනස් ආසන ලැබෙන්නෙ නැහැ. මහාමැතිවරණයේදී ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් වනවා.
• ඒත් ජනතාව පක්ෂය වටා රැඳී සිටීවි කියා ඔබ සිතනවාද?
අපට පාර්ලිමේන්තුවේ බලයක් ගොඩනඟන්න වරමක් නොලැබෙන්න පුළුවන්. ඒත් ශක්තිමත් විපක්ෂයක් හදන්න හැකි වේවි. ජනතාවගෙන් අප ඉල්ලා සිටින වරම එයයි. ඒ ජනතාව වෙනුවෙන්මයි.
• අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පැවසුවා ජාතික ජනබලවේගය වටා විශාල ලෙස පක්ෂ එක් රැස් වන බව. ඒත් අපට නම් එවැන්නක් පේන්න නැහැ...
අප පක්ෂය වටා තවදුරටත් විවිධ සංවිධාන, පක්ෂ එක් වනවා. කලින් ජාතික ජනබලවේගය වටා එක්ව සිටියේ පක්ෂ, සංවිධාන 27ක් පමණයි. ඒ තත්ත්වය දැන් බෙහෙවින් වැඩි වෙලා.
• මේ දිනවල රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැඟී තිබෙනවා. ඒ ගැන ඔබ පක්ෂයේ අදහස...
ඒ සිද්ධි අධිකරණයේ ස්වාධීනත්වයට ලොකු බලපෑමක් එල්ල කරන බවක් පේනවා. ඒ වගේම තවත් පැත්තකින් අප මේ දෙස බැලිය යුතුයි. අනවසරයෙන් කටහඬක් පටිගත කිරීමට නීතියෙන් අවසර නැහැ. අප කවුරුත් දන්නවා ජංගම දුරකතන සමාගම් මෙන්ම ඇතැම් රක්ෂණ සමාගම්වලට දුරකතන ඇමැතුම් ගත් විට ‘මේ ඇමතුම පටිගත විය හැකියි’ යනුවෙන් අපට දැනුම් දීමක් කරනවා. ඒත් එවැන්නක් මෙහිදී සිදුව ඇති බවක් පෙනෙන්න නැහැ. එය ඉතා වැරැදි සහගතයි. ඒ වගේම අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් ගත් හඬපට මාධ්‍යයට ගියේ කොහොමද කියනඑකත් සොයා බැලිය යුතු වෙනවා.
• ඒත් නීතිය හැමෝටම එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියා වෙනසක් නැහැ නෙ?
නීතිය සැමට එක හා සමානයි කියල තියෙන්නෙ අපේ ආණ්ඩුක්‍රම ව්යවස්ථාවෙන්නේ. ඒ වුණාට ක්‍රියාවෙන් එහෙම වෙනවද? ගමේ සිරිපාල, සයිමන් අත්අඩංගුවට ගන්න පොලීසිය ගියාම ඇඳන් ඉන්න ඇඳුම පිටින් කුදලගෙන එනවා. රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්න ගියහම වෙනත් ඇඳුම් ඇඳගෙන, රැවුළ කපාගෙන එනකල් ඉඳලායි එක්ක එන්නේ. ඉතින් නීතිය කොහොමද අපේ රටේ සාධාරණ වෙන්නේ? කකුල් දෙකෙන් ඇවිදගෙන එන සමහර දේශපාලනඥයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරපු ගමන් අසනීප වෙලා බන්ධනාගාර රෝහලට යනවා. ආපසු ගිලන් රථයෙන්, රෝද පුටුවෙන් උසාවි එන්නෙ. ඒ ඇවිත් නිදහස ලැබුණා විතරයි දෙපයින් ඇවිදගෙන ගිහින් වාහනයට නඟිනවා! රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න එන කොට අසනීප වෙලා පෞද්ගලික රෝහලක නවතිනවා. අධිකරණයේ රෙජිස්ට්‍රාර් එයා ළඟට යනවා. බන්ධනාගාර නිලධාරීන් එයා ළඟට යනවා. ඉතින් කොහොමද නීතිය සාධාරණ වෙන්නේ? මේක නීතියට කොකා පෙන්වීමක්.
• රන්ජන් රාමනායක මහතාගේ කතාවලින් පෙන්නුම් කරන්නේ අධිකරණයට ඇඟිලිගැසීම් ගැනයි. අධිකරණයට මැති-ඇමැතිවරුන් මේ ලෙස ඇඟිලිගැසීම කිසි සේත්ම සුදුසු නැහැ. ඔබ පක්ෂය මේ සම්බන්ධයෙන් දක්වන්නේ කුමන ප්රතිචාරයක්ද?
අධිකරණයට ඇඟිලිගැසීම් සිදු කළේ පහුගිය ආණ්ඩුව විතරක් නොවෙයි. පහුගිය ආණ්ඩුව ඒ සේරටම වඩා වෙනස් බරපතළ කටයුත්තක් සිදු කළා. මේ කිසිවක් අනුමත කරන්න පුළුවන් ඒවා නොවෙයි.
• කොහොම වුණත් අධිකරණය ගැන ජනතා විශ්වාසය පලුදු වෙන්න මෙවන් ක්‍රියා හේතු සාධක වන්න පුළුවන් බව ඔබට සිතෙන්නේ නැද්ද?
පහුගිය දිනවල සිදු වුණු මේ ක්‍රියාදාමයන් හේතුවෙන් අධිකරණය කිසිසේත්ම විශ්වාස නොකළ යුතුයැයි ජනතාවට වැරැදි වැටහීමක් ගියා දෝ කියා සැක පහළ වනවා. එය ඉතා භයානකයි. ඒ නිසා සාමාන්‍ය ජනතාව දැඩි භීතියට පත් වන්න පුළුවන්. මා කලින් කිව්වා වගේ මේ රටේ නීතිය ලොකු මිනිහාට එකක් පොඩි මිනිහාට එකක් නෙ. ඒ නිසා මේ සමස්ත අධිකරණ පද්ධතියම වෙනස් කළ යුතු තත්ත්වයකයි තියෙන්නේ. අප පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිපත්ති එකයි කියන එක.
• එහෙම කින්න බැහැ නෙ... ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර බොහෝ වෙනස්කම් පෙනෙන්න තිබෙනවා...
විවිධ අංශවල වෙනස්කම් තිබෙන්න පුළුවන්. එහෙත් හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව හොරු ඇල්ලුවද? ඇයි ඇල්ලුවෙ නැත්තෙ කියල දැන් පැහැදිලියිනෙ. සේරම අය අතරේ ඩීල් තියෙන්නෙ. රනිල් පිලත් එකයි, මෛත්‍රී පිලත් එකයි, මහින්ද පිලත් එකයි, ගෝඨාභයගේ පිලත් එකයි. වෙනස් නම්වලින් හැඳින්වුවත් මේ සේරම අය එකම දේයි කරන්නේ.
• ඒත් එක් විනිශ්චයකාරවරියක තමාට උසස්වීම් ඉල්ලන්නේ රන්ජන් රාමනායක මහතාගෙන්. මේ සිද්ධිය පිළිකුල්සහගතයි නේද?
ඒක සාමාන්‍ය සිද්ධියක් ලෙස බැහැර කළ නොහැකියි. ඒ සිද්ධියට මූලික වූ සිදුවීම සම්බන්ධ වෙලා තියෙන්නේ අධිකරණයේ වූ මනුෂ්‍ය ඝාතන නඩු විභාගයක් සම්බන්ධ වූ නඩුවක තීන්දුවක් සමඟයි. ඒ නඩුවට අදාළ තීන්දුව පමණක් නොවෙයි, පසුව අභියාචනාධිකාරයේදී ඊට අදාළව ඇපෑලත් ඒ තීන්දුව අනුමත කළා. ඒ නිසා එය ගැන අප තර්ක-විතර්ක කළ යුතු නැහැ. එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් පවා මේ සිදුවීම තමන්ගේ වාසියකට අරගෙන සමාජයේම මතය එය බවට පත් කරන්න හදනවා. ඒ හරහා සමාජයට යම් වැරදි පණිවිඩයක් දෙන්නයි උත්සාහ කරන්නේ. එය අනුමත කරන්න බැහැ.
• කෙසේ වුවත් ඇය එසේ තමන්ගේ උසස්වීම ඇමැතිවරයකු මාර්ගයෙන් සිදු කරගන්න යෑම කිසි සේත්ම සුදුසු නොවන බව ඔබට සිතෙන්නේ නැද්ද?
ඇයගේ ඒ ඉල්ලීම අනුව පෙනෙන්නේ අධිකරණ පද්ධතියේත් උසස්වීම් නිසි ලෙස සිදුව නැති බවයි. එතැන ගැටලුව වන්නේ ඇය ඒ ඉල්ලීම කළ පුද්ගලයා හා ස්වභාවයයි. එතැනයි ගැටලුව තිබෙන්නේ.
• පසුගිය රජය සමයේ විභාග කර තීන්දු දුන් ඇතැම් නඩු නැවත විභාග කළ යුතු බවට මතයක් මේ වන විට සමාජයේ ගොඩනැඟෙමින් තිබෙනවා. නීතිඥවරයකු ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?
නැහැ. විභාගය අවසන් කර, දඬුවම් නියම වී, දඬුවම් විඳින අයකු සම්බන්ධව එවන් ක්‍රම අනුගමනය කරන්න නීතියේ ප්‍රතිපාදන නැහැ.
• මේ ක්‍රියාදාම සම්බන්ධව ඔබට පැවසිය හැක්කේ කුමක්ද?
නීතිය ක්‍රියාත්මක කිරීම ඒ අංශවල නිලධාරීන්ට බාර දී, දේශපාලකයා තමන්ගේ වැඩ බලාගන්න කියන එකයි මට කියන්න තිබෙන්නේ. ඔවුන් හැම වැඩකටම ඇඟිලිගහන්න යෑමෙන් ජනතාවට අත් වන සෙතක් නෑ.
සංවාදය - තාරක වික්‍රමසේකර
from silumina
0 Comments