ළඟපාත වැව්වල මල් නැති කාලෙට දුර පළාත්වලටත් මල් හොයන්න යනවා
වෙසක් පොසොන් කාලයට මල් විසි - තිස් දාහක් විතර විකුණනවා
හැමදේම කරන්නේ මල් විකුණලා ලැබෙන මුදලින්
මල් සොයා බඹරුන් ඇදෙන්නා සේ ඔවුන්ගේ ජීවිත වලට නිරන්තරව ඇදී එන්නේ දුක් කම්කටොලුය. ඒ දුක් නිවා ගැනීම සඳහා ඔවුන් කිලෝ මීටර ගණනාවක් ඈත යන්නේ වැව් දියේ පිපෙන මල් සොයාය. ගැට කිඹුලන් හා හැළ කිඹුලන් ගහන වැව් දියේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් හුළං පිරුණු ටියුබයක නැගී ඔවුන් ඕලු, නෙළුම්, මානෙල් මල් සොයා ඈතට යන්නේ ගැහැනු පිරිමි බේදයෙන් තොරවය. ප්‍රසිද්ධ සිද්ධස්ථාන ආසන්නයේ මල් අළෙවි කරන වෙළෙඳුන්ට මල් සපයන මොවුන්ගේ ජීවිත වල දුක, වේදනාව, අවධානමට මුහුණ දීම, ධෛර්ය, වීර්යය ආදී බොහෝ දේ රැඳී තිබෙන්නේය.
“අපි කඩන්නේ වැව්වල පිපෙන මල්. සුදු නෙළුම්, රතු නෙළුම්, නිල් මානෙල් හා ඕලු මල් ශ්‍රී දළදා මාලිගාව ළඟ මල් කඩවලට දාන්නේ අපි. නිල් මානෙල් මල් නම් රුහුණු කතරගමටත් යවනවා. උදේ පාන්දර කඩන මල් නුවරට, කතරගමට බස් එකේ යවනවා. හවස කඩන මල් දඹුලු විහාරය ළඟ අපිම විකුණනවා. ටියුබ් එකේ නැගලා වැව මැදට යන්න ඕන මල් කඩන්න. මේ ගමන හරිම අවදානම්. පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් ටියුබ් එක පෙරළෙනවා. මල් කඩාගෙන එනකොට තමයි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන. මල් පොහොට්ටු තුන් හාරසීයක් කැඩුවම ඒක කිලෝ දෙතුන් සීයක් බරයි. මල් අරන් කිඹුලන්ගෙනුත් බේරිලා ආපහු එන එක හරිම අවදානම්. අපේ පරම්පරාවම කළේ වැව්වල මල් කඩලා විකුණන එක. පුංචි කාලේ ඉඳලා මල් කඩන්න වැවට ගියා. දෙවියන්ගේ පිහිටෙන් තාමත් කරදරයක් වෙලා නැහැ. මිනිස්සුන්ට පින් කරන්න මල් හොයලා දෙන නිසා දෙයියෝ බුදුන් අපිව රකිනවා කියලා මම විශ්වාස කරනවා.” දහතුන් වසරක් තිස්සේ මේ වෘත්තියේ යෙදෙන පියල්සිරි පැවැසුවේය.
දඹුලු රජමහා විහාරය අවට නවපාදෙණිය, සල්ගාදු මාවත, ජයමාවත, රත්මල්ගැහැළ යන ප්‍රදේශවල පදිංචිව සිටින පවුල් හතළිස් අටක් වැව්වලින් මල් නෙළීමෙන් හා දඹුලු විහාරය ආසන්නයේ මල් අළෙවියෙන් දිවි රැක ගනිති. වැව්වලට ගොස් මල් කඩන කාන්තාවෝ අට දෙනෙක්ද ඒ අතර වූහ. හතළිස් අට හැවිරිදි එම්. ඒ නිලන්ති එවැනි දිරිය කතකි. අවුරුදු 13ක් තරම් කුඩා වයසේදී වැව් ඉවුර ආසන්යේ පිපෙන මල් කඩාගෙන ගොස් දඹුලු විහාරය අසල සිට විකුණා පාඩම් පොත් ගන්නට මුදල් සොයා ගත්තාය. අද තම දූ දරුවන් ජීවත් කරවන්නට ඇය වැව් දියේ නොපෙනෙන ඈතක් කරා ගමන් කරන්නේ එදාට වඩා අද ඇයට ජීවත් වන්නට මල් අවශ්‍ය බැවිනි. සල්ලි සොයා වැව් පීරන නිලන්තිගේ ජීවිතයටද පාස්කු ප්‍රහාරයේ බලපෑම ඉහළින්ම එල්ල වී තිබේ.
“අපි වැවෙන් කඩාගෙන එන මලක් මල් වෙළෙන්දන්ට විකුණන්නේ රුපියල් තුනට. ඒ අය මේ මලක් රුපියල් විස්සකට විකුණනවා. මල් කඩලා හම්බ වෙන ගාන මදි නිසා දඹුල්ල විහාරය ළඟ මම මලුත් විකුණනවා. වෙසක් පොසොන් පෝයට දඹුලු විහාරය වඳින්න විශාල සෙනඟක් එනවා. ඒ දවස් දෙක තුනට අපි කොහොම හරි මල් විසි තිස් දාහක් විකුණ ගන්නවා. ඒකෙන් ලොකු ගානක් හම්බ කළා. අපි ගෙවල් දොරවල් හදා ගත්තෙත් එහෙම ලැබෙන මුදල්වලින්. පාස්කු දවසේ බෝම්බ පිපුරුණාට පස්සේ සිද්ධස්ථානවලට එන සෙනඟ හොඳටම අඩුවුණා. වෙළෙන්දෝ අපෙන් මල් අඩුවෙන් ගන්නේ. ඒ දවස්වල අපිට හරියකට කැම ටිකක්වත් කන්න ලැබුනේ නෑ. දැන්නම් මිනිස්සු ආයෙත් එන නිසා මල් ටිකක් විකිණෙනවා.” නිලන්ති පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.
දඹුල්ල, ගලේවෙල, කැකිරාව, මඩාටුගම, ආඬියාගල, ගල්කිරියාගම, උල්පත්ගම ප්‍රදේශල පිහිටි වැව්වල වසර පුරා මල් පිපෙන්නේ මොවුන් වෙනුවෙනි. තද ඉඩෝරය විසින් ප්‍රදේශය වෙළාගත් විට වසරකට මාස දෙක තුනක් ඔවුන්ට නෙළා ගන්නට මල් නැත. අනුරාධපුර, වවුනියාව, කන්තලේ වැනි ප්‍රදේශයන්හි පිහිටි වැව්වලට ගොස් මල්සොයයි. එලෙස මල් සොයා යන සරත් කුමාර අපිට හමු වූයේ ඔහු ආඬියාගල වැව් ඉස්මත්තේදීය. නෙළා ගත් මල් තොගයක් ඔහුගේ කර මත විය. කිලෝ සීයක පමණ බරින් යුත් නෙලුම් පොහොට්ටු පන් හයසීය බිමින් තබා කතාවට එක් විය. “ මල් කඩන්න වැවට උදෙන්ම යන්න ඕන. අව්ව සැර වැඩිවෙන්න කලින් මල් කඩන එක ලේසියි. ඒ වගේම නුවරට, බෙල්ලන්විලට, කතරගමට යවන මල් උදෙන්ම බස් එකට දෙන්න පුළුවන්. මල් යහමින් විකිණෙන කාලයට අපි දවසට දෙපාරක් මල් කඩනවා. දැන් නම් කඩන මල් ටිකවත් විකුන ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මම අද පාන්දර 4.00ට විතර වැවට බස්සේ. අපි එන පාරේ අලිත් ඉන්නවා. කොයි වෙලාවේ අලියා ගහයිද දන්නේ නැහැ. මල් කඩාගෙන එනකොට ටියුබ් එක පොඩ්ඩක් හරි එක පැත්තකට බර වුනොත් පෙරළෙනවා. පහුගිය දවස්වල බස් වලට පාර්සල් ගත්තේ නැහැ. ඒ නිසා අපිට වුණේ වාහන අරන් නුවර යන්න. වාහනේට බර ගානක් ගෙවන්න වුණා. දැන් නම් බස් වලට මල් ගෝනි ගන්නවා. බස් එකේ මල් උර තුන හතරක් රුපියල් පන්සීයකට විතර යවන්න පුළුවන්. මෙහේ වැව් වල අවුරුද්දකට මාස දෙකක් විතර මල් නැති වෙනවා. ඒ කාලෙට වාහනයක් අරන් මල් හොයන්න වෙන පළාත් වලට යනවා. එතකොට වියදම් වැඩි නිසා අතේ මුදල් ඉතුරු වෙන්නේ නෑ. මල් හොඳට තියෙන සමහර වැව් ඒ ගම්වල මිනිස්සු සමිති හදාගෙන ව්‍යාපාරිකයින්ට බදු දෙනවා. ඒ වැව්වලින් අපිට මල් කඩන්න අවසර නැහැ. ඒකත් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්.
අඩසිය වසක පමණ කාලයක් මල් කඩා ජීවිකාව ගෙන ගිය අසූ එක් හැවිරිදි එම්.ඒ පියසේන මහතා සිය දරුවන්ට ශාස්ත්‍රය කියාදී අද සිය රැකියාවට සමුදීසිටී.
“ටියුබ් එකට කටින් හුස්ම පිඹලා තමයි ඒක වතුරට දාන්නේ. හොඳට හුළං පිරුණට පස්සේ ඒක දියට දාලා වැවේ මල් තියෙන පැත්තට නැගලා යනවා. වැස්ස, සීතල කියලා වැඩේ නතර කරන්න බැහැ. වැව් වල කිඹුල්ලු වර්ග දෙකක් ඉන්නවා හැළ කිඹුලයි ගැට කිඹුලයි කියලා. හැළ කිඹුලා මිනිස්සුන්ට බයයි. ගැට කිඹුලා එහෙම නැහැ. ඌ ඇඟට කඩා ගෙන පනිනවා. හිරිවඩුන්න වැවේ ගැට කිඹුල්ලු ඉන්නවා. සමහර වෙලාවට අපි වැවට බහින්න යනකොට කිඹුලා ඉන්නවා. ඌ එහා මෙහා වෙනකල් බලා ගෙන ඉඳලා වැවට බහිනවා. කිඹුලට බයේ වැඩේ අත්හැරියොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මල් තුන්සීයක් විතර අරන් ටියුබ් එකේ එනකොට කොන්ද කෙළින් තියා ගෙන ඉඳ ගන්න ඕන. ටියුබ් එක පෙරළුෙණාත් කෙළින්ම අපේ ඔළුව ගිහින් වදින්නේ වැව් පතුලේ. ” පියසේන කියන්නේ තම අත්දැකීම් හා පළපුරුද්ද ගැනය.
මෙරට සිද්ධස්ථාන 550ක් තිබෙන බවත් ඒ අතරින් 350ක් ඓතිහාසික සිද්ධස්ථාන බවත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මල් අලෙවි කුටිවල මල් අළෙවිකරුවන්ගේ සංගමයේ සභාපති පියල් ශ්‍රී රජවික්‍රම මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. මේ සිද්ධස්ථාන වලට දෛනිකව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙනවා. ඔවුනෙගෙන් 90%ක් ම මල් පුජා කරනවා. සිද්ධස්ථාන අසල මල් අලෙවියෙන් හා ඒවාට මල් සැපයීමෙන් ජීවිකාව ගෙන යන පවුල් 40000ක් පමණ මේ රටේ ඉන්නවා. ඕලු, නෙළුම්, මානෙල් මල් වගේම ගොඩබිම හැදෙන පිච්ච, අරලිය, වතු සුද්ද, කිරි ඉද්ද, දාස්පෙතියා මල් මේ අය සපයනවා. මල් සොයන්න ගොඩක් මහන්සි වෙන්නේ වැව්වල මල් කඩන අයයි. සල්ලි දීලා මල් අරන් දෙවියන්ට බුදුන්ට පූජ කරලා පින් ප්‍රාර්ථන කරන බොහෝ අය මේ කදුළු කතාව දන්නේ නැහැ.”
මල් තරමට සුවඳ නැති පින් තරමට සැහැල්ලු නැති මල් නෙළන්නන්ගේ ජීවිත අතිශයින්ම දුක්බරය. මුදල්දී පින් කරන්නට කැමැති බොහෝ දෙනෙකුට ඒ සඳහා මල් සොයා දෙන මොවුන්ගේ එකම අරමුණ මල් සල්ලි කර බඩ වියත රැක ගැනීමය. කඩාගත් මල් සියල්ල දෙවියන්ට පුදා යමක් ඉල්ලනවාට වඩා ඒ මල් කාට හෝ විකිණීමට ඔවුන් පෙලඹී සිටින්නේ ඒ නිසාය. වැව් පුරා හැමදාමත් මල් පිපෙන්නේ මොවුන් වෙනුවෙන් මිස මුදල්වලට මල් මිලට ගෙන පූජාකර පින් ප්‍රාර්ථනා කරනවුන් වෙනුවෙන් නොවේය. මොවුන් පින්වලට වඩා මල්වලට කැමැති ඒ නිසාය.
from silumina sithmalyaya
0 Comments