අගමැති මහින්ද රාජපක්ෂ
බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධව කෙතරම්
මෙහෙයුම් ක්‍රියාත්මක වූවා ද යන්න පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රටට එරෙහිව එම බලවේග දැරූ උත්සාහය සාර්ථක වූවා නම් සිංහල ජාතියට අත්වන ඉරණම සිතාගන්නටවත් නොහැකි බව පැවසූ රාජපක්ෂ මහතා මේ සියලු අභියෝග ජයගැනීම සඳහා අප තව තවත් ශක්තිමත් විය යුතු බවත් පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේලා පන්දහසක් නමකට පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරපු ටැබ් පරිගණක බෙදා දීමේ අවස්ථාවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී 04 වැනි දා එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
අපි කවුරුත් අද දවසේ සහභාගී වෙලා ඉන්නෙ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් වැදගත් උත්තුංග කාරණාවකට. ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් සම්පූර්ණ පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ථ කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරපු ටැබ් පරිගණක ස්වාමීන්වහන්සේලා පන්දහසක් නමකට පූජා කිරීම තමයි මෙතන සිද්ධ කෙරෙන්නෙ. නවීන තාක්ෂණයේ ආදිනව ගැන අපි ඕනතරම් කතා අහලා තියෙනවා. විශේෂයෙන්ම පරිගණක තාක්ෂකණය හරහා බාල පරම්පරාව නොමග යවන සුළු බොහෝ දේවල් ඔවුන් වෙතට යන ආකාරය ගැන කතාබහ ඇතිවෙලා තියෙනවා.
නමුත් නවීන තාක්ෂ ණය කොයි තරම් ප්‍රයෝජනයි ද කියන කාරණය අපට වැටහෙන්නෙ මේ වගේ අවස්ථාවලයි. පාලි ත්‍රිපිටකය සහ අත්තථ කතා අච්චු ගහලා පොත් හැටියට මේ ප්‍රමාණයෙන් බෙදා හරින එක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික නැහැ. නමුත් නවීන තාක්ෂණය ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් සෑම භික්ෂූන් වහන්සේ නමක් සතුවම සම්පූර්ණ ත්‍රිපිටක හා සම්පූර්ණ අත්ථ කතා තියෙන බවට වග බලාගන්න.
බුදු දහම බිහිවුණේ ලංකාවේ නෙවෙයි. නමුත් නිර්මල ථෙරවාද බුදුදහම රැකුණේ ලංකාවෙයි. පාලි ත්‍රිපිටකය කියන්නෙ ලෝක බුද්ධිමය උරුමයේ වැදගත් කොටසක්. අපට තාක්ෂණය පාවිව්චි කරලා සම්පූර්ණ පාලි ත්‍රිපිටකය සහ අත්ථ කතා මේ විදියට බෙදල දෙන්න පුළුවන් වෙන එක නවීන තාක්ෂණයේ ආශ්චර්යක්. මේ තාක්ෂණය අපි බුදු දහමේ උන්නතිය සඳහා පාවිච්චි කරන්න ඕනෙ. ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු මහා සංඝරත්නය බුදු දහම විකෘති වීමට ඉඩ නොදීම සඳහා ගෙන යන මේ වැඩපිළිවෙළ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම ඇගයීමට ලක්වෙන්න ඕන.
මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහනේසේ මේ සමරු කලාපයේ පෙන්නා දීල තියෙනව සම්බුද්ධ ශාසනය අභියෝගයට ලක් වූ අවස්ථාවල රාජ්‍ය පාලකයන්ටත් ගිහි ප්‍රජාවටත් ඒ අභියෝගය ජය ගන්න මහා සංඝරත්නය නායකත්වය දීපු ආකාරය ගැන. මේ මෑතකත් ඒ වගේ අවස්ථාවක් අපි පහු කෙරුවා. උන්වහන්සේ ඒ ගැනත් යම් සඳහනක් කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධ මෙහෙයුම් කොයිතරම් බලගතු විදියට ක්‍රියාත්මක වුණා ද කියලා. රටට එරෙහි බලවේග ඒ දරපු උත්සහය සාර්ථක වුණා නම් සිංහල ජාතියට අත්වන ඉරණම කුමක් ද කියන එක ගැන අපි සියලු දෙනාම හොඳින් කල්පනා කරලා බලන්න ඕන.
මේ අභියෝගවලින් අපි තවත් ශක්තිමත් වෙන්න ඕනෑ. මහාවංශයේ සඳහන් වෙන විදියට වලගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ පාලි ත්‍රිපිටකය ලේඛනගත කෙරුවෙත් නිර්මල ථෙරවාද බුදුදහමට එල්ල වුණු අභියෝගයක් නිසායි. එදා ඒ සිදු වුණු ලේඛනගත කිරීම නිසා තමයි අද අපි මහ ලෝක උරුමයක ආරක්ෂිකයන් බවට පත් වෙලා ඉන්නෙ. ඉතිං අභියෝග කියන්නෙ නරක දෙයක්මත් නොවෙයි. ඒකෙන් තමයි ජාතියක් පන්නරය ලබන්නේ. අපි පහුගිය අවුරුදු පහේ දි අත්දැකපු දේවල් නිසාල අපේ ජාතික හැඟීම් තවත් ශක්තිමත් වුණා.
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියපු ඒ යුගය පහුගිය නොවැම්බර් 16 වෙනිදා අවසන් වුණා. මහා සංඝරත්නය එහි දී මූලිකත්වය ගත්ත ආකාරය ගැන මම මෙතන අලුතින් කියන්න ඕන නැහැ. මහා සංඝරත්නයේ ඓතිහාසික කාර්යභාරය ඉහළින්ම සිදු වුණු බව විතරක් මම කියන්නම්. බෞද්ධ ශාසනය රැක ගැනීම, සිංහල ජාතිය රැක ගැනීම, රටේ ඒකීයභාවය රැක ගැනීම කියන මේ සියල්ල එකට බැඳුණු දේවල්. අපේ ඉතිහාසය තුළ ඉතාමත්ම පැහැදිලිව පේන්න තියෙන කාරණය තමයි සිංහල බෞද්ධයා රැකුණොත් තමයි සෙසු ආගම්වලටත් මේ රටේ ආගමික නිදහස රැකෙන්නේ කියන එක. මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නෙ සිංහල බෞද්ධ ජනතාවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහා සංඝරත්නය වෙත පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ථ කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කළ ටැබ් පරිගණක බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙරේදා (04) පැවැත්විණි.
ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය
0 Comments