ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි
ශ්‍රී ලංකාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවේ විශිෂ්ට දර්ශක අත්කරගෙන ඇති බවත්, අවම වියදමකින් උසස්ම සෞඛ්‍ය සේවාවක් සපයන ආදර්ශවත් රටක් ලෙස එය අන් රටවල පිළිගැනීමට ලක් වී ඇති බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පරිජන්ම සමාජයේ 19 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පත් වීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් කතා කළ සුව ඇමැතිනිය මෙසේ ද කීවාය “ශ්‍රී ලංකාවේ පරිජන්ම සමාජය යනු කාන්තාවක් ගර්භනී තත්ත්වයට පත් වන අවස්ථාවේ සිට දරුවකු මෙලොවට බිහිකර වසරක් ගත වනතුරු කාල සීමාවේ මව හා දරුවා සම්බන්ධ සෞඛ්‍ය සේවා ගැටලු විසඳීමට පුරෝගාමී වන වෘත්තීය ආයතනයක්. පරිජන්ම සමාජයේ සංයුතිය සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ ක්ෂේත්රයේ සුවිශේෂී වෙනවා. මවට සහ දරුවාට සෞඛ්‍ය සේවා සපයන ප්‍රසව, ළමා රෝග හා ප්‍රජා සෞඛ්‍ය යන වෘත්තීය ප්රවාහයන් තුනම එකට එකතු වී සමාජය හරහා රටේ සෞඛ්‍ය සේවා නඟා සිටු වීමට කටයුතු කරනවා. මෙය වෘත්තිකයන්ට එකට වැඩ කිරීමට ඇති හොඳම වේදිකාවක්“
ශ්‍රී ලංකාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවේ විශිෂ්ට දර්ශක අත්කරගෙන ඇති අතර, අවම වියදමකින් උසස්ම සෞඛ්‍ය සේවාවක් සපයන ආදර්ශමත් රටක් ලෙස අන් රටවල පිළිගැනීමට ලක් වී තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය අපේ මවුවරුන් සහ ළදරුවන්ව ඉතා හොඳින් බලාගන්නවා. ආපසු හැරී බලන විට ඇතැම් සෞඛ්‍ය දර්ශකයන් වසර ගණනාවකින් වැඩි දියුණු වීමකින් තොරව අදාළ ඉලක්ක කරා ළඟා නොවී තිබෙන බව පෙනෙන්නේ යැයි ද සමහර සේවා සපයන උපාය මාර්ග ගැන නැවත සලකා බැලිය යුතු යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ඉලක්ක ඇතිව යන ගමනේ දී ශ්‍රී ලංකාවේ මහජනතාවට සෞඛ්‍ය සේවා සැපැයීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා, නවතම සාක්ෂි පදනම් කරගත් සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශයක් තිබිය යුතු බවත් එහිදී පරිජන්ම සමාජයට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට පුරෝගාමී විය හැකි බවත් ඇමැතිනිය මේ අවස්ථාවේ කීවාය.
මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත හා කෘෂි අපනයන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සුරන්ත පෙරේරා, වෛද්‍ය දරනි කෝෂලා හපන්ගම යන මහත්ම මහත්මීහු ඇතුළු ශ්‍රී ලංකා පරිජන්ම සමාජයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.
බුද්ධි කරුණාරත්න
0 Comments