අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා වසර තුනහමාරක් කටයුතු කරද්දී කිසිදු ආකාරයක චෝදනාවකට ලක් නොවූ නමුත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට පත්වූ පසු විවිධ චෝදනා එන්නට පටන් ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේදී අගමැතිවරයාට පමණක් දෙවැනිව මනාප ලක්ෂ තුනක් ලබා ගත් තමාට දේශපාලනයේ දුර ගමනක් යෑම සඳහා ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට පෙළ පොත්වලට පණිවුඩ ඇතුළත් කර ගැනීමට අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරේදා (26) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා,
පාසල් පෙළ පොත් සිසුන්ට නොමිලේ ලබා දීම ආරම්භ කළේ 1980 වසරේදී. එදා සිට අධ්‍යාපන ඇමැතිවරයාගේ පණිවුඩයක් හා ඡායාරූපයක් පෙළ පොත්වලට ඇතුළත් කළා. පණිවුඩයකට ඡායාරූපයක් එක් කිරීමෙන් පෙළ පොත්වලට අමතර වියදමක් යන්නේ නෑ. මම ඒ ගැන හිටපු වැඩබලන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඒ සඳහා විශේෂ පිරිවැයක් යෙදීමට සිදු නොවන බව තහවුරු කළා.
එහෙත් හිටපු වැඩබලන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යයට අදහස් පළ කරමින් වෙනත් දෙයක් ප්‍රකාශ කළ බවට වාර්තා වුණා. මගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් පෙළ පොත්වල ඇතුළත් කරන ලෙස මා ඉල්ලා සිටි බවත් එහි සඳහන්ව තිබුණා. එය වැරදියි. නමුත් හිටපු ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා පසුව දිවුරුම් ප්‍රකාශයක් මඟින් මාධ්‍ය වාර්තා අසත්‍ය බව තහවුරු කර තිබෙනවා. ඒ දිවුරුම් ප්‍රකාශය ඒ මහතා ලබා දී තිබෙන්නේ අධ්‍යාපන ලේකම්වරයාටයි.
මම දැක්කා සමහර පුවත්පත්වල තිබෙනවා පෙළ පොත්වල මගේ පණිවුඩය සහිත ඡායාරූපයක් පළ කරන ලෙස ඉල්ලීමක් කළා කියලා. ඇමැතිවරයා ලෙස මා එසේ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑ, දිය යුත්තේ නියෝග පමණයි.
හිටපු වැඩබලන ප්‍රකාශන කොමසාරිස්වරයාට එරෙහිව මට ලැබුණු පැමිණිල්ලක් අනුව මම විමර්ශනයක් දමා තිබෙනවා, 2017 මැයි 16 වැනිදා එතුමා භාරව සිටින සැපයුම් අංශයට විරුද්ධව එහි කටයුතු සම්බන්ධව විමර්ශනයට. චෝදනා පත්‍රයක් ද නිකුත් වීමට නියමිතව තිබුණා. ඔහු වැරදිකරුවකු වී නැති නිසා මට ඔහු සමඟ ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ නිසා ඕනෑම කෙනෙකුට තේරෙනවා මට වුවමනාවක් නෑ කියලා එතුමාට මේ වගේ කරුණු කාරණා කියන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ අය දන්නවා, අවුරුදු පහකට කිට්ටු වෙන්න මම අමාත්‍යාංශයේ කටයුතු කර තිබෙනවා. කිසි දවසක මම ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ. ඒ වගේම මාධ්‍යවේදීනුත් දන්නවා මගේ අනාගත දේශපාලනය හදාගැනීමට හෝ මෙවැනි ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ කියලා. බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටියදී ඒ මහතාගේත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත් වර්ණ ඡායාරූප සහිතව පෙළපොත්වලට පණිවුඩ ඇතුළත් කර තිබුණා. මීට අමතරව ඒ සමයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නිකුත් කළ වෙනත් විවිධ පොත්වලත් හිටපු ජනාධිපතිවරයාගේ සහ ඇමැතිවරයාගේ ඡායාරූප පළ කර තිබුණා.
කොමිසමේ පැවසුවා කියා සාවද්‍ය ප්‍රකාශ පළකර තිබෙන මාධ්‍ය ආයතනවලට එරෙහිව රුපියල් මිලියන පන්සීයක වන්දි ඉල්ලා ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. වැරදි මත සමාජගත වුවහොත් උසාවියට ගොස් නිවැරදිභාවය ඔප්පු කළත් ඒ වනවිට සිදුවිය යුතු අගතිය සිදුවී අවසන් නිසා වගකීම් සහිතව කරුණු වාර්තාකරන ලෙස මා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.
දින පනස් දෙකේ ආණ්ඩුව කාලයේ අධ්‍යාපන ඇමැතිවරයා මගේ ඡායාරූපය සහිත පණිවුඩය පෙළපොත්වලින් ඉවත් කර හිස් පිටුවක් සහිතව පොත් නිකුත් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. එවැනි ද්වේශ සහගත පටු දේශපාලන තීන්දු නිසා මේ වසරේ දරුවන්ට පෙළ පොත් ලබා බෙදා හැරීම ප්‍රමාද වුණා.
මෙහි දී අදහස් දැක්වූ වත්මන් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධ පළ වූ මාධ්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය ඇතුළත් කිරීමෙන් කිසිදු ආකාරයක අතිරේක පිරිවැයක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව නොමැති බවත් ය. පෙළපොත් මුද්‍රණ ක්‍රියාවලිය සිදුවන ආකාරය, පිරිවිතර ඇතුළත් කොට මිළ ගණන් කැඳවන ආකාරය, මිළ ගණන් නිර්ණය වන ආකාරය සහ මුද්‍රණ ක්‍රියාවලිය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තාක්ෂණික සහ විෂය කරුණු පැහැදිලි කිරීමක් හිටපු ප්‍රකාශන කොමසාරිස් පද්මිණී නාලිකා මහත්මිය මෙහිදී සිදු කළා ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය- චමින්ද නිරෝෂණ
0 Comments