Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Gossip : ධනංජිට තවම බබාල නැත්තේ ඒක නිසාලු - තව අවුරුද්දක් දෙකක් යාවිලු - ධනංජි කියන කතාව මෙන්න


රංගන කටයුතු එක්ක ධනංජි කාර්යබහුල වෙලාද?

මේ දවස්වල නිර්මාණ කිහිපයක රූගත කිරීම් කෙරෙනවා. කොළඹින් පිට රූගත කිරීම් සිද්ධ වෙනවා. “රන්බැඳි මිනිස්සු” ටෙලි නාට්‍යයේ.  (27දා) ඉඳන් “සුසුමක ඉම” කියන ටෙලි නාට්‍යයත් විකාශනය වෙනවා. කොළඹ රූගත කිරීම් කළ තව නාට්‍යයක රූගතකිරීම් නිම කළා. ඒවත් එක්ක තමයි කාර්යබහුල වෙලා හිටියේ.

මේ දවස්වල තිරගත වන වැලි පවුරු සිනමා නිර්මාණය එක්කත් ඔබට ලොකු ගනුදෙනුවක් තියෙනවනේ. ඒ ගැනත් කියමු?

සුනිල් ප්‍රේමරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ “වැලි පවුරු” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. දැනට අවුරුද්දකට විතර කලින් තමයි ඔය වැඩේ ආරම්භ කළේ. මේ චිත්‍රපටය මවුපිය දූදරු බැඳීම් ශක්තිමත් කරන්න මඟ පෙන්වන චිත්‍රපටයක්. අද දරුවෝ මවුපියෝ දුරස් වෙලා. ඒ ඒ අය වෙනම ලෝකවල ජීවත් වෙන්නේ. අනාගත පරපුර මේ චිත්‍රපටය බලනවා නම් හොඳයි. මේ චිත්‍රපටය නරඹන අයගේ ඇසට කඳුළක් නඟන චිත්‍රපටයක්. චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹපු අයත් එදා හැඬුවා. ඉතින් මේ චිත්‍රපටය නරඹන්න කියන ආරාධනාව කරන්න මම කැමැතියි. මේ චිත්‍රපටයේ තේරීම් හරි අනර්ඝයි. දිල්හානි අක්කාගේ, මහේන්ද්‍ර අයියාගේ රංගනය අතිවිශිෂ්ටයි.

ඔබේ රංගනයත් බොහෝදෙනා අගය කළාලු නේද?

බොහෝ අය චිත්‍රපටය බලලා කිව්වේ ඔයා හොඳට රඟපාලා තියෙනවා කියලා. මං ගැන තරහක් ඇතිවුණා කියලත් කිව්වා. මම ඒ චරිතය දැනෙන්න කරලා තියෙන නිසා තමයි ඔවුන් මට එහෙම කිව්වේ. කටකාර, දඟකාර, හිතුවක්කාර චරිතයක් වුණත් ඒක වෙනස් ගැඹුරු රංගනයක් කරන්න තිබ්බ චරිතයක්. රංගනය ගැන අධ්‍යයනය කරලා කළ චරිතයක්. කාව්‍යා කියන චරිතය මම සාර්ථකව කළා කියලා හිතනවා. ඒ වගේ චරිතයකට මාව තෝරා ගැනීම ගැන මම අධ්‍යක්ෂකතුමාට ස්තුතිවන්ත වෙනවා.

ධනංජි පුංචි තිරයේ වැඩිපුර දැක්කට සිනමාවේ එතරම් දකින්න නෑ. ඒ ධනංජි සිනමාව අෑත් කරලා නිසාද? සිනමාව ධනංජිව අෑත් කරලා නිසාද?

සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යවල නළු නිළියෝ සිනමාවේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ටෙලි නාට්‍යවල පේන්න ඉන්න අය සිනමාවෙන් දකින්න ලැබෙද්දී ඒකකාරී ස්වභාවයක් තියෙනවා කියලා අධ්‍යක්ෂවරු හිතනවා. ඒක එක පැත්තකින් ඇත්ත. අලුත් මුහුණු සිනමාවේ දකිද්දි ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය බලන්න යොමුවෙන අවස්ථා තියෙනවා. වැලි පවුරු චිත්‍රපටයේ, “නිහඬ සෙවණැලි” චිත්‍රපටයේ රඟපාන මම, තාරුකා, පුබුදු ටෙලි නාට්‍යවලත් ඉන්නවා. පුබුදු චතුරංග එහෙම ටෙලි නාට්‍ය කළත් තෝරාගෙන කරන්නේ. මම ගත්තොත් මට ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා තරම් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නැහැ. නමුත් අපි ගැන විශ්වාසය තියලා අපි ඒ චරිතයට සාධාරණයක් කරනවා කියලා අධ්‍යක්ෂවරු හිතුවොත් අපිව සිනමා නිර්මාණවලට සම්බන්ධ කරගනියි. මගේ දක්ෂතාව එක්ක අවශ්‍ය නම් මාව සිනමා නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. මට මේ වෙනකොට සමාජයට ආදර්ශයක් වෙන්න පුළුවන් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. ඒ ගැන සතුටුයි.

පුංචි තිරයේ ලැබෙන අවස්ථා ගැන සතුටු වෙන්න පුළුවන් ඇති?

ඔව්, පුංචි තිරයේ නම් අවස්ථා ගොඩක් ලැබෙනවා. ගොඩක් වෙලාවට නාට්‍යවල එකම නළු නිළි පිරිසක්නේ රඟපාන්නේ. දඟකාර, කටකාර චරිතයක් නාට්‍යවල බොහෝ වෙලාවට තියෙනවා. ඉතින් ඒවට අපිව සම්බන්ධ කරගන්නවා. මම ලෝචනා, ගීතිකා, රුක්ෂානා වගේ අයව තමයි ගොඩක් කටකාර දඟකාර චරිතවලට සම්බන්ධ කරගන්නේ.

එකම චරිත ස්වභාවයකට කොටුවීම ගැන දුකක් නැද්ද?

ඒ කොටුවීම ගැන දුකක් තියෙනවා. මම සාමාන්‍ය ජීවිතයේදීත් දඟකාර, කටකාර චරිතයක් නිසා ඒ වගේ චරිත හොඳට කරයි කියලා අපව ඒ වගේ චරිතවලටම යොදා ගන්නවා. ඒ වගේ චරිතවලත් වෙනස්කම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් මාත් කැමැතියි වෙනස් වෙනස් චරිත කරන්න. ඒවා අපිට ඉල්ලාගෙන යන්න බෑනේ. අභියෝගයක් විදියට එවැනි චරිත ලැබුණොත් කරනවා.

කටකාර, දඟකාර ධනංජි සැබෑ ජීවිතයේදී වෙනස් වෙලාද?

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් ළඟ හිතුවක්කාරකමක් තියෙන්න පුළුවන්. ඒක හැබැයි විවිධ විධියට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම දැන්නම් හිතුවක්කාර නැහැ. මම සාමාන්‍යයෙන් දඟ, සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. ගොඩක් අය දන්නවා රූගත කිරීම්වලට ගියත් මම පේර ගහක් අඹ ගහක් තිබ්බොත් ගහට නැඟලා හරි ඒවා කඩන් කන කෙනෙක්. හැබැයි දැන් ඒ ගති ටිකක් අඩුවෙලා. ටිකක් තැන්පත්ව දඟලන්නේ නැතුව ඉන්න බලනවා. හස්බන්ඩ් කියලා තියෙන්නේ ඒවගේ වැඩ කරන්න එපා, අතක් පයක් කඩා ගන්නේ නැතුව ඉන්න කියලා. දැන් දරුවා කියන හැඟීම ගිහින් බිරිය කියන තැනට ඇවිත්නේ ඉන්නේ. ඒ නිසා හුරතල් ගතිවලට වඩා වගකීම්සහගත බිරියක් ලෙස ඉන්න බලනවා.

රංගන කටයුතුවලටත් ඒ වගේ සීමා පැනවිලාද තියෙන්නේ?

නැහැ, දැනට අපි දරුවෙක් ගැන හිතලා නැති නිසා රංගන කටයුතු සුපුරුදු විදියට කරගෙන යනවා. දැන් රටේ තියෙන තත්ත්වය නිසා රූගත කිරීම් ටිකක් කල් ගියා. වේදිකා නාට්‍ය දර්ශන අවලංගු වුණා. ඒ පැත්තෙන් වැඩ සීමාවුණා මිසක් සැමියා මට රංගන කටයුතුවලට සීමා දාලා නැහැ.

දරුවෙක් ගැන හීනය හැබෑ කරගන්න දැන්ම හිතලා නැද්ද?

ඒ හීනය හැබෑ කරගන්න ටිකක් කල් තියෙනවා. මොකද මම භාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා. සුනිල් ප්‍රේමරත්න මහත්තයාගේ “නිහඬ සෙවණැලි” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. චිත්‍රපටවල නම් වැඩ නිමකරලා තියෙන්නෙ. නමුත් වැඩ බාගෙට කරපු ටෙලි නාට්‍ය තියෙනවා. මට ඒ වැඩවලට පොලු තියන්න බෑ. මම බැන්ද ගමන් සමහරු කතා කරලා ඇහුවේ “දැන්ම බබාලා හදන්නේ නැහැ නේද” කියලා. ඉතින් කරපු වැඩ ටික කොහොමත් අවසන් කරන්න ඕනේ. ඒ නිසා දරුවෙක් ගැන හීනය හැබෑ කරගන්න තව අවුරුද්දක් දෙකක් ගත කරයි.

ළඟදි ධනංජිට නාට්‍ය පැටලිල්ලක් වුණා කියලත් ආරංචියි.

ඔව්, ඔව්, නාට්‍ය කිහිපයක වැඩ කරද්දී එක දිගට වැඩ කළා. ඊට පස්සේ දවස් තුන හතරක් නිදහසේ ඉඳලා එක නාට්‍යයක රූගත කිරීම්වලට ගියා. ඉතින් ඒකේ දෙබස් ඔක්කොම හරියට කිව්වට දෙබස් අවසානයේ මට කියැවුණේ ඒ නාට්‍යයේ ඉන්න පිරිමි ළමයකුගේ නම නෙවෙයි. ඊට කලින් රූගත කිරීම් කළ නාට්‍යයක චරිතයක නමක් තමයි මට කියැවුණේ. ඉතින් එදා හැමෝම ඒ කවුද කියලා අහලා මට හිනාවුණා.

ධනංජිට කොහොමත් පුද්ගලයන්ගේ නම් අමතක වෙනවලුු නේද?

ඒක ඇත්ත. සමහර වෙලාවට මට හොඳටම දන්න අයගෙත් නම අමතක වෙනවා. ඒ ඇයිද කියලා මමත් දන්නේ නැහැ. සමහරු මගෙන් අහනවා හස්බන්ඩ්ගේ නම මතකද කියලත්.

රූගත කිරීම්වලට කාර්යබහුල වෙද්දී පවුල් ජීවිතේ වැඩකටයුතු මඟහැරෙන්නේ නැද්ද?

මම දවස් 10ක් එක දිගට වැඩ කළොත් ඉතිරි දවස් ටික නිදහසේ ඉන්නේ. ක්ෂේත්‍රය ගැන, මං ගැන තේරුම් ගත්ත කෙනෙක් තමයි මම මගේ ජීවිතයට තෝරා ගත්තේ. අපි හැමදේම සමබර කරගෙන වැඩ කරගන්නවා. එයා මාව තේරුම් අරගෙන ඉන්න නිසා මට ලොකු බරක් දැනෙන්නේ නෑ වැඩවලදී.

තිළිණි කෞශල්‍යා විජේසිංහ




Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();