Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චිත්‍රපට ඉගෙන ගන්න ඉස්කෝලයක්

සංජීව පුෂ්පකුමාර (අධ්‍යක්ෂ)
මැයි 30, 2019

අපේ අරමුණ සිනමා අධ්‍යයනය නොව සිනමාකරණය යි

මෙරට සිනමා පාසලක් නොමැති වීම කාලයක පටන් කතාබහට ලක් වූ කරුණක්. ඇතැමුන් විදෙස්ගත වී සිනමාව පිළිබඳ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර මෙරටට පැමිණෙන විටදී තවත් පිරිසක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟින් කටයුතු කරමින් ලබන අත්දැකීම් ඔස්සේ සිනමා ක්ෂේත්‍රයේ ඉදිරියට යනු දක්නට ලැබුණි. මෙලෙස කාලයක පටන් අඩුපාඩුවක් වී තිබූ සිනමා පාසලක අවශ්‍යතාව දැන් සම්පූර්ණ වී තිබේ. ශ්‍රී ලංකා සිනමා පාසල ඔස්සේ මෙරට සිනමා ක්ෂේත්‍රය පිළිබඳව හැදැරීම් කිරීමට ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන්නන් හට දැන් අවස්ථාව උදා වී ඇත.

පසුගිය මැයි 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින්. සිනමාව සඳහාම වෙන් වූ පාසලක් ලෙසින් සැළකෙන ශ්‍රී ලංකා සිනමා පාසල පිළිබඳ ඔහු පැහැදිලි කළේ මෙලෙසින්.

"සිනමාව වෙනුවෙන්ම වූ සිනමා පාසලක් ලෙස මෙහි ආරම්භය සිදු වූයේ, ශ්‍රී ලංකා පදනමේ සභාපති, ජනාධිපති නීතීඥ සරත් කෝන්ගහගේ මහතා මට කළ ආරාධනයක් අනුවයි. මීට පෙර ශ්‍රී ලංකා පදනමේ සිනමා පාඨමාලාවක් ක්‍රියාත්මක වුවත් කාලයක පටන් එය නැවතී තිබුණා. ඒ හේතුවෙන් මෙම ආරාධනය සමඟ සිනමා පාසලක් ආරම්භ කිරීමට මම එතුමාට යෝජනා කළා. දැනට ලංකාවේ සිනමා පාඨමාලා බොහොමයක් පැවතුනත් ඒ සියල්ල පරිපූර්ණ සිනමාකරුවෙක් බිහි කිරීමේ පසුබිමක පවතින ඒවා නොවෙයි. ඒවා මඟිනුත් සිනමාව පිළිබඳ යම් දැනුමක් ලැබෙනවා. නමුත් අපට වුවමනා ඊට වඩා පරිපූර්ණ, සාර්ථක සිනමාකරුවන් බිහි කිරීමයි. අපේ අරමුණ සිනමා අධ්‍යයනය නොව සිනමාකරණය යි."

ශ්‍රී ලංකා පදනම යටතේ මෙම සිනමා පාසල ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කළොත්?

අපි මේ සිනමා පාසල නිර්මාණය කළේ ජාත්‍යන්තර සිනමා පාසලක ආකෘතියකට අනුවයි. මෙහි පාඨමාලා කාලය අවුරුදු තුනක්. ඒ අවුරුදු තුන අධ්‍යයන වාර හයකට වෙන් වෙනවා.

පරිපාලන ව්‍යුහය ගත් විට විදුහල්පතිවරයෙක්, උපදේශක මණ්ඩලයක්, පාඨමාලා අධ්‍යක්ෂවරයෙක්, ලේඛකාධිකාරිවරයෙක් ආදි වශයෙන් කටයුතු කරනවා.

ශ්‍රී ලංකා පදනම කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ආයතනයක්. ශ්‍රී ලංකා පදනම, මෙම සිනමා පාසලෙන් අරමුණු කරන්නේ ලංකාවේ හොඳ සිනමා සංස්කෘතියක් බිහි කිරීමයි. එහි පැවැත්වෙන සිනමාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පහසු ගෙවීම් ක්‍රම පවා අපි සිසුන්ට හඳුන්වා දී තිබෙනවා.

මෙම සිනමා පාසලේ ප්‍රායෝගික අධ්‍යයන සිදු කෙරෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් තාක්ෂණික උපකරණ පහසුකම් සිනමා පාසල සතු ද?

අන්තර්ජාතික මට්ටමෙන් මේ සිනමා පාසල පවත්වා ගෙන යන්න සියලු පහසුකම් ශ්‍රී ලංකා පදනම සතුයි. ඒ පහසුකම් උපරිමයෙන් අරගෙනයි අපි මේ සිනමා පාසල ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම අපි මෙම පාඨමාලාවට අවුරුදු තුනක් වෙන් කරලා තියෙනවා. නමුත් අවුරුදු තුනකින් නොව දෙකකින් උසස් ඩිප්ලෝමාවක් ලබා දිය හැකි බවට කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. අවුරුදු දෙකකින් උසස් ඩිප්ලෝමාවක් දුන්නට අවුරුදු දෙකකින් සිනමාකරුවෙක් හදන්න බැහැ.

හොඳ සිනමාකරුවෙක් හදන්න අවම වශයෙන් අවුරුදු තුනක්වත් අවශ්‍ය යි. ඒ වෙනුවෙන් හැම අධ්‍යයන වාරයකදීම ශිෂ්‍යයන් තම තමන්ගේ ප්‍රායෝගික ඉදිරිපත් කිරීම් කළ යුතුයි. හැම ශිෂ්‍යයකුම ඒ ඒ අධ්‍යයන වාරවල චිත්‍රපට සේම අවසන් වසරේදීත් චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් තාක්ෂණික උපකරණ සහ ප්‍රායෝගික පුහුණුවීම් ඉතා හොඳීන් සිදු කිරීමට ඉතා ඉහල තාක්ෂණයෙන් යුතු චිත්‍රාගාර පහසුකම් සිනමා පාසල සතුයි. විශේෂිත උපකරණ අවශ්‍ය අවස්ථාවල ඒවා බාහිරින් ලබා ගන්න කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම වසර තුන අවසන් වන විට ප්‍රවීණ සිනමාකරුවන් යටතේ කටයුතු කරන්න අපි ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා.

සිනමා පාසලෙන් ආවරණය කෙරෙන විෂය ක්ෂේත්‍රයන් සහ ඒ වෙනුවෙන් වෙන් කෙරෙන කාල සීමාවන් ගැනත් සඳහන් කළොත්?

සිනමා ක්ෂේත්‍රයට අදාළ සෞන්දර්යාත්මක සහ තාක්ෂණික ක්‍රමවේදයන් ඇතුළත්ව පළමු වසරේදී හැම ශිෂයෙකුම ප්‍රධාන විෂය ධාරා තුන වන අධ්‍යක්ෂණය හා තිර රචනය, කැමරාකරණය හා ආලෝකකරණය, සංස්කරණය හා ශබ්ද සැලසුම්කරණය මූලිකව ඉගෙන ගත යුතු වෙනවා. දෙවන වසරේ සිට මේ අතරින් තමා වඩා දක්ෂ සහ හැකියාව පෙන්වන විෂය ක්ෂේත්‍රය තෝරා හැකියි. ඒ වගේම මෙම වසර තුන පුරා සෑම ශිෂ්‍යයකුම සිනමාකරුවකු වීම වෙනුවෙන් අත්‍යවශයෙන් ඉගෙන ගත යුතු පොදු විෂයන් තියෙනවා.

සිනමා ශානර, කලා අධ්‍යක්ෂණය, දේශපාලන ඉතිහාසය, ලෝක සාහිත්‍යය ප්‍රවණතා, ලෝක කලා ඉතිහාසය, ගෘහ නිර්මාණ ශිල්පය, දර්ශනය, මනෝ විශ්ලේෂණය, සංගීතය ආදී විෂයන් එයට ඇතුළත් වෙනවා. පාඨමාලාවේ අධ්‍යයන වාර හය පුරා වරින් වර මේ විෂයන් ඉගැන්වීමට අපි කටයුතු යොදා තිබෙනවා. දැනට අපි සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී සතියකට විෂයන් හතරක් පැය හතරක දේශන ලෙසින් ඉගැන්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ වෙනුවෙන් කැප වී සිටින ආචාර්ය මණ්ඩලය?

දැනට අපේ රටේ මේ ක්ෂේත්‍රය වෙනුවෙන් සිටින හොඳම මානව සම්පත් කථිකාචාර්යවරුන් ලෙසින් දායක කර ගන්න අපි කටයුතු යොදා තිබෙනවා. එම්. ඩී මහින්දපාල, පාලිත පෙරේරා, කෞශල්‍යා ප්‍රනාන්දු, ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි, රවීන්ද්‍ර ගුරුගේ, උදයකාන්ත වර්ණසූරිය වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ද මේ කටයුත්තට දායකත්වය ලබා දීමට නියමිතයි.

මෙම සිනමා පාසලට අයදුම් කරන්නේ කෙසේ ද?

මූලිකව ළමයින් 30 දෙනෙකු පමණ අපි බඳවා ගන්න කටයුතු යොදා තිබෙනවා. ඒ වෙනුවෙන් වයස සීමාවක් පනවන්නේ නැහැ. මොකද සිනමාකරුවෙක් වෙන්න වයස් සීමාවක් නැහැ. මේ කටයුත්ත වෙනුවෙන් කැප වෙන්න සුදුසු මානසික ශාරීරික යෝග්‍යතාව තියෙන ඕනෑම කෙනෙකුට මෙම සිනමා පාසලට අයදුම් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩිදුර තොරතුරු ඹඹඹ.ඵතට.තඬ වෙබ් අඩවියෙන් දැනගත හැකියි.

නිශ්ශංක විජේරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();