Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දූෂණයෙන් තොර ක්‍රීඩා පරිපාලනයක් අරමුණ කොට නව ක්‍රීඩා සංගම් එකමුතුවක් පිහිටුවයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ක්‍රීඩා පරිපාලන ව්‍යුහයන් එක්ව බහු ක්‍රීඩා සංස්කෘතියක් (Multi Sports Culture) නිර්මාණය කිරීම හා දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුත් ක්‍රීඩා පරිපාලන රටාවක් බිහි කිරීම අරමුණ කොට ගනිමින් ‘ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුවක්’ පිහිටුවයි. මේ ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුව නම් වූ නව ක්‍රීඩා සංගමය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුදැනුම ඇතිව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට නීත්‍යානුකූලව ක්‍රීඩා සංවර්ධනය අරමුනු කොට දියත් කළ බව ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුවේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසූවේ ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුව එළිදක්වමින් ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුවට ඔලිම්පික් ක්‍රීඩා සංගම් 9ක් එක්ව සිටි අතර ඉදිරියේදී සියලුම ලියාපදිංචි ක්‍රීඩා සංගම් එක්කර ගැනීමට අපේක්ෂා කරයි.

දුනු විදීමේ සංගමය, මලල ක්‍රීඩා සංගමය, බොක්සිං සංගමය, ඔරු පැදීමේ සංගමය, කඩු හරඹ සංගමය, පාපන්දු සංගමය, කැනොයින් සංගමය, හිම ක්‍රීඩා සංගමය හා නූතන පංච ප්‍රයාම යන සංගම්වල නියෝජිතයෝ මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

ක්‍රීඩාවේ ප්‍රවීණයන් හා පරිපාලකයන් ඇතුළු විද්වතුන්ට එකතුවීමේ වේදිකාවක් සලසාදීම, ඔවුන්ගේ අත්දැකීම්, විශේෂඥ දැනුම බෙදා ගැනීමට අවස්ථා සැලසීම, ක්‍රීඩා සංගම් වෙනුවෙන් පොදු හඩක් නැගීම, සංගම් අතර මිත්‍රත්වය, සමානාත්මතාව හා මනා අවබෝධයක් ගොඩනැගීම, ක්‍රීඩා පරිපාලනය සඳහා විනිවිදභාවය හා වගකීම, වගවීම ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ළගාවීමට හා එය රැක ගැනීමට අවශ්‍ය භාවිතයන් හා අදහස් ප්‍රවර්ධනය ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුවේ ප්‍රධාන අරමුණු අතර වේ.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ක්‍රීඩා සම්මේලන සංගම් එකමුතුවේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ පිරිසිදු චේතනාවකින් ආරම්භ කළ මේ සංගමය ක්‍රීඩා පරිපාලනයට අලුත් ආදර්ශයක් සපයනු ඇති බවය. “අපේ සංගමයේ හොරු නෑ. අපි මේ සංගමයට හොරු ගන්නේත් නෑ. ක්‍රීඩාවෙන් මුදල් ගසාකන එයින් ජීවත්වන අය අපට අවශ්‍ය නෑ. අපේ අරමුණ විනිවිදභාවයෙන් යුත් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්නයි. පසුගිය ඔලිම්පික් නිලවරණයට මා ඉදිරිපත් වුණා. එහිදී පුද්ගලික ලාභාපේක්ෂාවෙන් තරග කළානම් මට පහසුවෙන් දිනන්න තිබුණා. එහෙනම් මට හොරු ගොඩකට වැටෙන්න වෙනවා. මා තෝරා ගත්තේ පිරිසිදු ගමන් මඟක්. ඔලිම්පික් නිලවරණයෙන් පසු මා සඳහන් කළා වසරක කාලයක් පත්වූ නිලධාරීන්ට කටයුතු කරන්න ඉඩ ලබාදෙන බව. නමුත් යහපත් ගමනක් නෑ.ඒ නිසා ක්‍රීඩා සංගම්වල ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට වන අසාධාරණකම් වෙනුවෙන් මේ එකමුතුව බිහිකළ යුතු බවට ඉල්ලීම් රැසක් ලැබුණා. ක්‍රීඩා සංගම්වල හෝ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන්ට වන අසාධාරණකම් අපේ සංගමය හරහා අමාත්‍යාංශයට යොමු කොට සාධාරණයක් ඉටු කිරීමට අප සූදානම්. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝතප හිමිව තිබෙනවා” ප්‍රනාන්දු මහතා පැවැසීය.

සියලු ක්‍රීඩා සංගම් මේ සංගමය යටතේ ලියාපදිංචි කිරීමට කටයුතු ආරම්භ කරන බව නූතන පංච ප්‍රයාම සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ නිශාන්ත පියසේන මහතා පැවැසීය. “අපට අවශ්‍ය අපේ ප්‍රශ්නවලට සාධාරණ විසදුම් සෙවීම පමණයි. අපේ සංගමය කාගේවත් වැරදි හොයන්න සූදානම් නෑ. සියලු දෙනා සමග සහයෝගයෙන් ඉදිරියට යෑම අපේ අරමුණයි. ජාතියක් ලෙස ක්‍රීඩාවට කළ යුතු යුගයේ අවශ්‍යතා තේරුම් ගෙන වටිනා සම්පත් දායකයන්ගේ සේවය රටට දායාද කිරීමට හොඳ ගමන් මඟක් මේ සංගමය හරහා නිර්මාණය වෙනවා. ඒ නිසා සියලු දෙනාට අප වටා එක්වන ලෙස ආරාධනා කරනවා” පියසේන මහතා සඳහන් කළේය.

මේ මධ්‍ය හමුවේදී මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් හා ප්‍රීති පෙරේරා යන මහත්වරුද අදහස් දැක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();