Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එංගලන්තය සිහින පොදි බැඳ අද පළමු තරගයට

වඩාත්ම ජනප්‍රිය කණ්ඩායම ලෙස ලේබල්ගතවී සිටින එංගලන්තය පළමුවරට ලෝක ශූරයන් වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් අද (30) ලෝක කුසලාන තරගමාලාවේ පළමු තරගයට දකුණු අප්‍රිකාව සමග පිටියට එක්වෙයි. අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ඕවල් පිටියේදී පැවැත්වෙන මේ තරගයෙන් ලෝක කුසලාන තරගමාලාවේ ආරම්භය සටහන් වෙයි.

මෙතෙක් ලෝක කුසලානයක් දිනා ගැනීමට තරම් වාසනාවන්ත නොවූ එංගලන්තය අවසන්වරට අවසාන මහා තරගයට එක්වූයේ 1992 තරගමාලාවේදීය. එසේ තුන්වැනි වරටත් අවසන් මහා තරගයට එක්වූ එංගලන්තයට අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවී තිබිණ.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිලේ තර්ජනයත්, පසුගිය වසරේ ශූරයන් වූ ඔස්ට්‍රේලියාවේ කුසලාන පිපාසයත් එංගලන්තයට දැඩි හිසරදයක් වූවත් ඔවුන්ගේ වත්මන් කණ්ඩායම වසර 45ක කුසලාන ඉඩෝරය මෙවර නිමාවට පත් කරනු ඇතැයි අනාවැකි පිට අනාවැකි පළවෙමින් තිබේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් ලෙස දශක ගණනාවක් පුරා ක්‍රිකට් පිටියේ කීර්තියට පත්වූ එංගලන්තය සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන එක්දින තරග බිමේ දී පසුගියදා නොම්මර එකේ කණ්ඩායම බවට පත්විය.

එහෙත් අයි.පී.එල්. තරගාවලියට පින්සිදු වන්නට සුපිරි තරු රැසක් සිය කණ්ඩායමට එකතු කරගත් විරාත් කෝලි මෙවර ඉන්දීය පිලට ලෝක කුසලානය දිනා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ඇතැයි ද, පසුගිය තරගමාලාවේදී පස්වැනි වරටත් ලෝක කුසලානය දිනාගැනීමට සමත්වූ ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ප්‍රබලතම පිතිහරඹ යුගලය වූ හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් යළි කණ්ඩායමට එක්වීම නිසා දැඩි උද්යෝගයෙන් යුතුව පසුවෙයි.

පසුගිය තරගමාලාවේදී අනුශුරයන් වූ නවසීලන්තය සහ ලෝක කුසලාන තරගමාලාවේ අවාසනාවන්තම කණ්ඩායම වන දකුණු අප්‍රිකාවත් මෙවර තරගමාලාව උඩුයටිකුරු කිරීමට බලාපොරොත්තු පොදි බඳිමින් සිටී. මීට පෙර 1992දී ලෝක ශූරයන් වූ පාකිස්තානය කුසලානය හඹා යන කණ්ඩායම් අතරින් වෙන් කළ නොහැකිය. එමෙන්ම පිට පිට දෙවතාවක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් 1979න් පසුව පළමු වතාවට එක්දින ලෝක කුසලානය ඩැහැ ගැනීමට කුරුමානම් අල්ලමින් සිටී.

අද සිට ජූලි මස 14 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය උණුසුම් කරන ලෝක කුසලාන තරගමාලාවට එක්වී සිටින සෙසු කණ්ඩායම් අතරින් 1996දී ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව ඊට පසුව පිට පිට දෙවතාවක්ම අනුශූරයන් බවට පත්වූ අතර ජනප්‍රිය නොවන කණ්ඩායමක් ලෙස ලේබල් ගතවී එංගලන්තයට පැමිණියත් අඩු තක්සේරුවට ලක් නොවනු ඇත. අනාවැකි පළ කිරීමට අසීරු කණ්ඩායමක් ලෙස ප්‍රකට බංග්ලාදේශයත්, පළමුවරට ලෝක කුසලාන තරගමාලාවට සහභාගි වන ඇෆ්ගනිස්තානයත් සුපිරි රටවල්වල ජයග්‍රාහී ගමන්මඟ අහුරා දැමීමේ සාධක බවට පත් නොවනු ඇතැයි සිතිය නොහැකි තරම් විස්මිත දස්කම් මෑත ඉතිහාසය තුළ පෙන්නුම් කර තිබේ.

පසුගිය තරගමාලාවේදී අමිහිරි වේදනාවක් තුරුළු කරගනිමින් පළමු වටයේදිම ඉවතට විසිවූ එංගලන්ත පිල අද දකුණු අප්‍රිකානුවන් සමග ඕවල් පිටියේදී තරග වදින්නේ ජයග්‍රහණයේ ගමන් මගට අවතීර්ණ වීමේ දහසක් බලාපොරොත්තු කර පින්නාගෙනය. මෑත කාලයේ එංගලන්ත පිලේ එක්දින ක්‍රීඩාවේ සාර්ථකත්වයට විශාලතම සාධකය වූයේ ඔවුන්ගේ පිතිහරඹයයි. ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටොව්, ජෝ රූට්, නායක ඔයින් මෝගන් සහ ජොස් බට්ලර් ඔවුන්ගේ පිතිහරඹ පෙළ ගැස්ම තුළ ඉදිරියෙන් පසුවන පිතිකරුවෝ වෙති. කාලයක් පුරා එංගලන්ත පිලේ වේගපන්දු බලඈණිය ශක්තිමත් කළ ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් මෙවර තරගමාලාවට ක්‍රීඩා නොකළ ද, පසුගියදා පාකිස්තානය සමග පැවැති එක්දින තරගාවලියෙන් 4-0ක ජයක් වාර්තා කිරීමට එංගලන්තයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් ක්‍රිස් වෝක්ස්, ටොම් කරන්, ලියම් ප්ලන්කට් සමග දඟපන්දු යවන ආදිල් රෂිඩ් ද සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. මෙවර තරගාවලියේදී කාගෙත් අවධානයට ලක්වී සිටින යොවුන් වේගපන්දු යවන්නා වන කොදෙව් ජාතික ජොෆ්රා ආචර් කෙරෙහි ඔවුන් තබා සිටින්නේ දැඩි විශ්වාසයකි.

නමුත් දකුණු අප්‍රිකානු පිලේ පුහුණුකරු කොදෙව් ජාතික ඔටීස් ගිබ්සන් කියන්නේ වෙනම කතාවකි.

‘මගේ හොඳම මිතුරන් දෙදෙනෙක් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් කියා ඇතැයි කියන කතාවක් මට ආරංචි වුණා. ඔවුන් කියා ඇත්තේ එංගලන්තයට මේ ලෝක කුසලානය දිනාගැනීමට විශාල කාර්යභාරයක් සිදු කිරීමට ඇති බවකි.

‘ඔවුන් දැනටමත් සිතා සිටින්නේ ඔවුන් ජයග්‍රාහකයෝ කියලයි. තරගමාලාවට සත්කාරකත්වය ලබාදෙන ගමන්, ලොව නොම්මර එකේ කණ්ඩායම බවටත් පත්වී සිටින්නේ නම් තරගමාලාව සාර්ථකව ආරම්භ කිරීමට එය ඔවුන්ට හොඳටම ප්‍රමාණවත්.’ ගිබ්සන් කීවේය.

‘ඒත් ලෝක කුසලානය දිනාගන්න නොම්මර එකේ කණ්ඩායම වෙන්නම වුවමනා නෑ. නොම්මර එකේ කණ්ඩායම නොවුවත් ලෝක ශුරයන් වෙන්න පුළුවනි.’

නායක ෆෆ් ඩු ප්ලෙසි සමග ක්වින්ටන් ඩි කොක්, හෂීම් අම්ලා, ජේ.පී.ඩුමිනි සහ ඩේවිඩ් මිලර් පිතිහරඹයෙන් දකුණු අප්‍රිකානු පිල ශක්තිමත් කරන අතර කගීසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩි සහ ඔවුන්ගේ ප්‍රබලතම දඟපන්දු තුරුම්පුව ඉම්රාන් තාහීර් මෙවර තරගාමාලාවේදී දකුණු අප්‍රිකානු පිලේ ඉරණම වෙනස් කරනු ඇතැයි ගිබ්සන් විශ්වාසය පළ කරයි.

ඔවුන්ගේ ප්‍රබලතම හා ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටේන් ආබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරයි. ඔහුට උරහිසේ ඇතිවූ එම ආබාධය නිසා තවත් තරග දෙකක් පමණ මඟ හැරෙනු ඇතැයි ගිබ්සන් කීවේය. එහෙත් එය දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට විශාල බලපෑමක් එල්ල නොවන කරුණක් වනු ඇතැයි ද ඔහු විශ්වාස කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();