Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජවිපෙ විශ්වාස භංගය නිසා එජාපය රිෂාඩ් ඉදිරියේ දණ ගැහුවා – ගම්මන්පිල

ජනතා විමුක්ති පෙරමුණ විහ්වාසභංගය ගෙන ආවේ රිෂාඩ් බදියුදීන් රැක ගැනීමට බව උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය සතියේ එජාප පාරලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අපූරු සිදුවීමක් වුණා. එජාප මන්ත්‍රිවරුන් තම ඇමති ධූරයෙන් ඉවත් වී පරීක්ෂණ වලට මුහුණ දී නිදොස් වී ඇවිත් ඇමති ධූරය භාර ගන්න කියා අමාත්‍ය රිෂාඩ්ගෙන් ඉල්ලීමක් කළා. එතකොට රිෂාඩ් අමාත්‍යවරයා මොකද කිව්වේ? මට අයින් වෙන්න පුළුවන්. හැබැයි මගේ මන්ත්‍රිවරුන් පස්දෙනා සමග මම ආණ්ඩුවෙන් යනවා. ඔන්න දැන් එජාප නායකයින්ගේ ඔළුව රත් වුණා. ජවිපෙ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් තිබෙන අතරේ ආණ්ඩුවට මන්ත්‍රිවරුන් පස්දෙනෙකුගේ සහය නැති වෙන්න යන්නේ.

එජාප නායකයෝ වහාම සාකච්ඡාවට මැදිහත් වුණා. “රිෂාඩ් ඇමතිතුමා අස් වෙන්න ඕනෑ නෑ. අපි තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙනවා. ඒකේ අතුරු වාරතාවක් විශ්වාස භංග විවාදයට කලින් ලබා ගන්නවා. ඒ සභාවෙන් රිෂාඩ් ඇමතිතුමා නිදොස් වුණොත් අපිට විශ්වාස භංග යෝජනාවේ දී ඇමතිතුමා රැක ගන්න පුළුවන්”.

ඇමති රිෂාඩ් ආණ්ඩුවෙන් යනවා කියන විට ආණ්ඩුවේ නායකයින් බය වෙලා ඔහුව රකින තැනකට තල්ලු වුණේ ඇයි? ජවිපෙ ගෙනා විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැටේවි කියා බය හිතුණු නිසා. රිෂාඩ් මෙතෙක් නොතිබුණු කේවල් කිරීමේ බලයක් ලැබුණේ කොහොමද? ජවිපෙ විශ්වාස භංගය ගෙනා නිසා තමයි එජාපයට රිෂාඩ් ඉදිරියේ දණ ගහන්න වුණේ.

එජාපය තුල තවමත් සිටින රටට ආදරේ මන්ත්‍රිවරුන්ගෙන් කරන්න අපට ඉල්ලීමක් තිබෙනවා. පක්ෂයට ඉහලින් රට ඔසවා තබන්න. ආණ්ඩුවට ඉහලින් රට ඔසවා තබන්න. ආණ්ඩුව රැක ගැනීමට වඩා රට රැක ගැනීම වැදගත් බව හිතන්න. රට අනතුරේ හෙලා ආණ්ඩුව රැක ගන්න ගියොත් රටේ ජනතාව එජාපයට අනාගතයේ කිසිම දිනක අමතක නොවන පාඩමක් උගන්වාවි.

– අරවින්ද අතුකෝරල


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();