Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහවැලි අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ජනපති උපදෙස්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දෙයි.

පෙරේදා (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

උමා ඔය, මිනිපේ ඇළ, වයඹ ඇළ, ඉහළ ඇළහැර ඇතුළු වාරි ව්‍යාපෘතිවල මෙතෙක් ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත අවධාරණය කළේ නියමිත කාලයට පෙර එම ව්‍යාපෘති නිම කරමින් කඩිනම් ප්‍රතිලාභ ජනතාවට සලසන ලෙසයි. එමෙන්ම මහවැලියෙන් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග හා නව ව්‍යාපෘති කෙරෙහි ද මෙහි දී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.

මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශය ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන යටතේ මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරිණි.

රුක් රෝපණ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් වන ඝනත්වය ඉහළ නැංවීම සඳහා මහවැලි කලාපය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය ද විමසා බැලිණි. එමෙන්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන සහයෝගයෙන් සහ ඒකාබද්ධව අදාළ වැඩසටහන් සාර්ථක කර ගැනීමට කැපවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවාධාරණය කළේය.

මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිරි පියවර පිළිබඳව ද විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූවන් නැවත පදිංචිකිරීම් සිදු කළ ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු එම ජනතාවගේ ආර්ථික සාමාජීය පසුබිම ඉහළ නැංවීමට ගෙන ඇති පියවරවල ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.

එමෙන්ම මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක විදුලිබලාගාරය ක්‍රියාකාරිත්වය පිළිබඳවද ජනාධිපතිතුමා විමසු අතර පසුගිය මාස 12 තුළ රුපියල් මිලියන 1100ක ඝෘජු ආදායමක් ඉන් උපයාදීමට හැකි වූ බව එහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින සියලු ආයතනවල ප්‍රධානීහු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඡායාරූපය - සඳරුවන් අමරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();