රුපියල් මිලියන හතරක මූල්‍යාධාර සමඟ මෙරට බලශක්ති ආර්ථිකය නැංවීම සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන්ටද දායක විය හැකි ‘හරිත බලශක්ති ශූරයා‘ තරගාවලිය අරඹා තිබේ.
මෙරට බලශක්ති ක්ෂේත්රය තුළ පොසිල ඉන්ධන භාවිතය අවම කර, පුනර්ජනනීය හරිත බලශක්ති භාවිතය දිරිගැන්වීමේ අරමුණින් ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය, මෙරට විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය හා එක්ව හරිත බලශක්ති ශූරයා තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අඛණ්ඩව තුන්වැනි වරට පැවැත්වෙන එම තරගාවලිය සංවිධානය කෙරෙන්නේ ජර්මනියේ GIZ, GmbH ආයතනත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත් එකමුතුවෙනි.
‘ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරයා’ වැඩසටහන යනු පුනර්ජනනීය බලශක්ති අධ්‍යාපනය මෙන්ම විවිධ ක්‍රියාකාරකම් රැසකින් යුත් වේදිකාවකි. නවෝත්පාදක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් තෝරා ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම, මෙහි ප්‍රධාන අංගය වේ. ඊට රාජ්‍ය, පෞද්ගලික අංශවලින් මෙන්ම සිවිල් සංවිධාන මට්ටමින් ද ව්‍යාපෘති යෝජනා එක් කළ හැකි වීම විශේෂත්වයකි.
මෙහි 2019 වසර සඳහා වූ තරගාවලිය ඉකුත් ජනවාරි 28 වැනි දා කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලයේදී නිල වශයෙන් නිවේදනය කෙරුණි. එම අවස්ථාවට විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ජෝර්න් රොඩේ යන මහත්වරු එක්වූහ. ඊට අමතරව ජනතාක්ශන් පුද්ගලික සමාගම හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වැනි ව්‍යාපෘති සහකරුවෝ ද එම අවස්ථාවට සහභාගී වූහ.
2017 වසරේ පැවැති තරගය සඳහා අයැදුම්කරුවන් 80ක් එක්ව සිටි අතර සූර්ය බලශක්ති හා බලශක්ති කාර්යක්ෂමතා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට එහි පළමු ස්ථානය හිමි විය. දියගල බෝයිස් ටවුන් ව්‍යාපෘතිය වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යංශය ද, මඩකලපුව නගර සභාව ද එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් දිනාගත්තේය. මෙවර තරගාවලියට පාසල්, රාජ්‍ය ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඇතුළු පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රජා පාදක සංවිධාන ආදී සෑම අංශයකින්ම ව්‍යාපෘති යෝජනා කැඳවේ. තරගාවලියට අදාළ නීති රීති මෙන්ම අයැදුම්පත් ද http://greenenergychampion.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2019 අප්‍රේල් 30 වේ.
මූලික වටයෙන් තෝරාගනු ලබන ව්‍යාපෘති යෝජනා නමයක් වැඩමුළුවක් සඳහා යොමු කෙරෙන අතර එමගින් අදාළ යෝජනා විශේෂඥ උපදෙස් අනුව තවදුරටත් වැඩිදියුණු කෙරේ. වැඩමුළුවෙන් අනතුරුව ජර්මානු තානාපති කාර්යාලය, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ GIZ යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක අවසන් විනිශ්චයට බඳුන් වේ.
ජයග්රාහකයින්ට 2019 ජුනි මස සිට අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා රුපියල් මිලියන 4ක (යුරෝ 20,000ක පමණ) මූල්‍යාධාර සැපයේ.
වැඩිදුර තොරතුරු සඳහා daniel.schreiber@giz.de. ඔස්සේ GIZ ආයතනයේ ඩැනියෙල් ෂ්රෙයිබර් මහතා සම්බන්ධ කරගත හැකිය.
ඡායාරූපය- රංජිත් අසංක
ඉනෝකා
from silumina
0 Comments