Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමුද්‍රීය හා සේවා සැපයුම් ක්ෂේත්‍රයේ සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

සමුද්‍රීය සහ සේවා සැපයුම් ජාතික ප්‍රතිපත්ති අවසන් කෙටුම්පත වරාය, නාවික හා දක‍්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා දක‍්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා වෙත එම අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේ දී පෙරේදා (31) පිළිගැන්වීය.

ජාතික සමුද්‍රීය සහ සේවා සැපයුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මේ කෙටුම්පත සකසා තිබෙන අතර සමුද්‍රීය සේවා සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමාණික අත්දැකීම් තිබෙන පාර්ශ්වකරුවන් 80ක් හා වරාය, නාවික හා දක‍්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රධානව එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් 2017 වසරේ මේ ජාතික ප්‍රතිපත්තිය සම්පාදන කටයුතු සඳහා ක්‍රියාත්මක විය.

විවිධ සාකච්ඡා, වැඩමුළු, දේශන සහ පර්යේෂණාත්මක ක්‍රියාකාරකම් රැසක ඔස්සේ මෙය සම්පාදනය කර ඇත. මෙසේ සැකසුණු සමුද්‍රීය හා සේවා සැපයුම් ජාතික ප්‍රතිපත්තියෙන් ඉදිරියේ දී සමුද්‍රීය හා සේවා සැපයුම් ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු කිරීමට යෝජිතය.

පරිච්ඡේද 7කින් සහ පිටු 150කින් සමන්විත සමුද්‍රීය හා සේවා සැපයුම් ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පතේ සමුද්‍රීය හා සේවා සැපයුම් ක්ෂේත්‍රයට අදාළ අංශ ගණනාවකින් සමන්විතය. ශ්‍රී ලංකාවේ නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ හදිසි අවශ්‍යතා විසඳීමෙහි ලා එක් එක් පාර්ශ්වයන්ගේ සම්බන්ධීකරණ කාර්යභාරය, වරාය හා අදාළ යටිතල පහසුකම් ඇතුළුව විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම, කොළඹ වරාය මෙන් ම ගාල්ල, ත්‍රිකුණාමලය ඇතුළු සියලු ප්‍රාදේශීය වරායන් දියුණු කිරීමේ වැදගත්කම, සමුද්‍රීය කටයුතු හා සේවා සංවර්ධනය, නෞකා හා නෞකා හිමිකාරීත්වය, නෞකා කාර්ය මණ්ඩල කළමනාකරණය, මුහුදුමය නැව්ගත කිරීම්, සමුද්‍රීය සහ සේවා සැපැයුම් ක්ෂේත්‍රය සම්බන්ධ සේවා, ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් නිශ්චිත රාමුවක ප්‍රවර්ධනයට ක්‍රියාමාර්ග උපයෝජනය, සමුද්‍රීය ආරක‍්ෂාව, සමුද්‍ර දූෂණය වැළැකීම සහ වගකීම්, ක්ෂේත්‍රයට අදාළ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, නියාමන රාමුව හඳුනාගැනීම, සමුද්‍රීය ආරක‍්ෂාවේ සුරක‍්ෂිතභාවය, සමුද්‍ර දූෂණය වැළැක්වීම, සමුද්‍රීය ක්ෂේත්‍රයට අදාළ පුහුණු කටයුතු, සේවා සැපැයුම්වල සීමිත පිළිවෙත් ආදී ක්ෂේත්‍ර මේ සමුද්‍රීය හා සේවා සැපයුම් ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතට ඇතුළත්ය.

ඇමැති සාගල රත්නායක මහතා ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

මේ කාර්යයට උනන්දුවක් දක්වන සියලු පාර්ශ්වයන්ගේ සහ පොදු ජනතාවගේ ප්‍රතිපෝෂණය මෙහි දී විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මේ ජාතික ප්‍රතිපත්තිය සැකසීමට උර දුන් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය බෙහෙවින් අගය කරනවා. හිටපු වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

නාවික හා දක‍්ෂිණ සංවර්ධන ඇමැති ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා

මේ ඓතිහාසික අවස්ථාවක්. මේ සමුද්‍රීය හා සේවා සැපයුම් ජාතික ප්‍රතිපත්තියෙන් සමුද්‍රීය ක්ෂේත්‍රයේ ඉහළ සංවර්ධනයක් අපේක‍්ෂා කරනවා. මෙයින් සමුද්‍රීය කලාපයේ තිරසාර සංවර්ධනයක් ද, ශ්‍රී ලාංකේය ආර්ථීකය වෙත ධනාත්මක මෙන්ම ප්‍රමුඛතම දැක්මක් ද, ශ්‍රී ලාංකේය සමුද්‍රීය සහ සේවා සැපයුම් සඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙන් දිගු කාලීන ඉලක්ක ඔස්සේ රටේ සමෘද්ධිමත්භාවයක් ද අපේක්ෂා කරනවා.

මේ ප්‍රතිපත්තියෙන් ජාත්‍යන්තර කීර්තිමත් සමුද්‍රීය සේවා සැපයුම් කේන්ද්‍රයක් කරා පිය එසවීමට හැකි වෙනවා. සමුද්‍රීය කලාපයේ ස්වකීය ස්ථාවරත්වය පවත්වා ගනිමින් උපරිම තාක‍්ෂණ භාවිතය සහ පාර්ශ්වකරුවන්ගේ සුසංයෝගී දායකත්වයෙන් මේ වර්ධනීය තත්ත්වය කරා යා හැකියි.

මේ සමුද්‍රීය ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් කලාපීය, ප්‍රාදේශීය ප්‍රතිනැව්ගත කේන්ද්‍රයේ සිට ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රය දක්වා පරිවර්තනයකට යොමු කරමින්, සාම්ප්‍රදායික ගෝලීය තරගකරුවන් මෙන් ම හිස ඔසවමින් සිටින ඉන්දීය උප මහද්වීපයේ කලාපීය තරගකාරීත්වයට ද මුහුණ දෙමින් ප්‍රමුඛව කටයුතු කිරීමට අවස්ථාව උදා වෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක‍්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ, අතිරේක කළමනාකාර අධ්‍යක‍ෂ උපාලි ද සොයිසා, විධායක අධ්‍යක‍්ෂ එම්රික් ප්‍රනාන්දු ප්‍රමුඛ අධ්‍යක‍්ෂ මණ්ඩල නිලධාරී මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();