දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන අමෙරිකානු පුරවැසියන් ජනාධිපතිවරුන් ලෙස පත් කිරීමට උත්සාහ කරන රටක අප වර්තමානයේ ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (31) අරලියගහ මන්දිරයේ හෙද හෙදියන් 1608කට ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.
මේ පත්වීම්ලාභීන් රට පුරා සෑම රෝහලකටම අනුයුක්ත කර ඇත. සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට හෙද හෙදියන් 40,089ක් අවශ්‍ය වුවත්, දැනට සෞඛ්‍ය සේවාවේ හෙද හෙදියන් 35,136ක් සේවය කරති. හෙද හෙදියන් 5,000කට ආසන්න සංඛ්‍යාවක හිඟයක් පවතින අතර දැනට හෙද විද්‍යාලවල 9,000කට ආසන්න හෙද සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබයි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරගයක් නෑ. විදේශ රටවල වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඊට වැට බැඳලා. උසස් අධ්‍යාපනයට සීමා පැනවීමේ සටන් පාඨ ඉදිරිපත් කරනවා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එපා කියලා කෑ ගහනවා. සියල්ලම පෞද්ගලීකරණය කරනවා කියලා කෑ ගහනවා. ඒවා බොරු සටන් පාඨ විතරයි. වර්තමානයේ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් මදි. නමුත් වෛද්‍ය විද්‍යාල හදන්නත් ඉඩ දෙන්නේ නෑ. මේ නිසා තරුණ තරුණියන් පීඩාවට පත් වෙනවා. ඔවුන් බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනවා. මෙවැනි විකෘති දේශපාලන මතිමතාන්තර තිබෙන රටක් තමයි සංවර්ධනය කිරීමට සිදුව තිබෙන්නේ.
හෙද හෙදියන්ට උපාධිය පිරිනැමීමට යෝජනා වූ විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. නමුත් හෙද උපාධිය ලබාදීමට අපි තීරණය කර වැඩ කටයුතු ආරම්භ කළා. ඊටත් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවේ හොඳ සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධය පළ කරනවා. ඔවුන් ඉපදිලා මැරෙනකම් විරෝධය පළ කර අවසන් ගමනේ දීත් විරෝධය දක්වනවා. එහෙම කෑ ගහන්නේ සියයට 10යි. ඒ කෑ ගහන අය නිසා රජයන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. ළිං මැඩි න්‍යායෙන් තමයි වෛද්‍ය සංගම් කටයුතු කරන්නේ. තමන්ට වාසි වෙන ඒවා බ්‍රිතාන්‍යයෙන් ලබා ගන්නවා. ලෝකය සමඟ ගමන් කළ යුතුයි. බොහෝ අංශ ලෝකය සමඟ ගමන් නොකිරීම නිසා තනි වී සිටිනවා.
වත්මන් හෙද පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 18,500ක්. හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ද විධිමත්ව උගන්වනවා. බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ඇමැතිවරුන් මට පොරොන්දු වී තිබෙනවා එම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට. ඖෂධවේදී, සම සෞඛ්‍ය, වෛද්‍ය සිසුන්ෙ උපාධි ලබාදීමට පීඨ ස්ථාපිත කර තිබෙනවා. එවිට තවත් වසර 0ක් යන විට සෞඛ්‍ය වෘත්තිකයන් උපාධිධාරීන් බවට පත් වෙනවා. සෞඛ්‍ය සේවය ඉහළ තලයට යොමු කරනවා. හෙද හෙදියන් 7000ක හිඟයක් පවතිනවා. එම හිඟය අවසන් කිරීමට හෙද පාසල් 05ක් සංවර්ධනය කරනවා. හෙද ඩිප්ලෝමාධාරීන් බිහි කරමින් ඉහළ සහ දියුණු හෙද සේවාවක් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ හෙද සේවාව ජාත්‍යන්තර පිළිගන්නා තත්ත්වයට පත් කරනවා. අතීතයේ වෛද්‍යවරුන්ටත් වඩා හෙද හෙදියන්ට විදේශීය රටවල රැකියා තිබුණා. නමුත් වර්තමානයේ උපාධිය අවශ්‍යයි. ලෝකය දිහා බලන්න. වසා ඇති කඩතුරාවෙන් මිදෙන්න. ලෝකය ගෝලීයකරණය වී විශ්ව ගම්මානයක් බවට පත් වී තිබෙනවා. ඇතැම් අය ජාතිය, ආගම, කුලය වෙනුවෙන් කෑ ගහනවා. ඔවුන් දේශප්‍රේමීන්. දේශප්‍රේමීන්ගේ පවුල්වල අය ඉන්නේ විදේශීය රටවල. එවැනි පුද්ගලයන් තමයි ජනාධිපතිවරුන් බවට පත් කරන්න ලංකාව උත්සාහ කරන්නේ. ඔවුන්ගේ පුරවැසිභාවය තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ. දේශප්‍රේමීන්ගේ හැටි එහෙමයි. අපි රට වෙනුවෙන් වැඩ කරන්න ලංකාවේම ජීවත් වුණා. වෛද්‍ය වෘත්තියේ නිරත වුණා. ශ්‍රී ලංකාව ගොඩනැංවීම අපගේ අරමුණයි. හෙද සේවාව ඉතාම වැදගත්. එයින් ලැබෙන්නේ රස්සාවක්. රෝගීන්ට බැනලා පව් පුරවා ගන්න එපා. රෝගීන්ට හොඳින් කතා කරන්න. දුප්පත් ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම යහපාලනයේ අරමුණයි. නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීමට මම පියවර ගෙන තිබෙනවා. එම නිසා නොමිලේ සෞඛ්‍ය සේවා රැසක් ජනතාවට ලබා දෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. එය අපට ගෞරවයක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය ගීතාමනී කරුණාරත්න, වෛද්‍ය සුනිල් ද අල්විස්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩොනල්ඩ් මුරගේ මහත්ම මහත්මීහු ද, හෙද විද්‍යාලවල විදුහල්පතිවරු ද, ආචාර්ය මණ්ඩලය ද, වෘත්තීය සමිති නායකයෝ ද, මවුපියෝ ද මේ අවස්ථාවට සහභාගි වූහ.
0 Comments