Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“කට්ටි­යට ම බඩ­ගි­නි ද? මොකද ඔච්චර සද්ද කරන්නේ?”

2 පෙබරවාරි, 2019

අවා­රය බැවින් ආහා­ර­යක් සොයා ගැනීම පහසු නැතත් කුරුල්ලෝ අතො­රක් නැතිව නද දෙති. තවත් දව­සක අභි­යෝ­ගය නොසැලී බාර­ගත් ලෙසින් ඒ මේ අත ඉගිළ යති. තුරක මලක් ගෙඩි­යක් නැතත් මේ අත්තටු ඇත්තෝ කුස­ගි­න්නෙන් පීඩා නොවි­ඳිති. අඹ ගස යට කුරුලු ලෑල්ලේ ඕනෑ­ත­රම් ආහාර තිබේ. ඒ කුරුලු ලෑල්ල අමා­ලිගේ අද­හ­සකි.

සමාව අය­දින බැල්මක් හෙළුෑ යුව­තිය දෑතින් දෙකන අල්ලා ගත්තාය. වර­දක් කළ බව පිළි­ගත්තේ නම් කන්පෙති අල්ලා ගනි­මින් උඩ පැනීමේ දඬු­වම ඇය බොහෝ වාර­යක් විඳ තිබේ. ඒ ළමා කාලය ඉක්මවා යොවුන් වියට පැමි­ණි­යද ඇයට ඒ දඬු­වම අම­තක නොවේ.

“හොරෙං ගෙට රිංගා ගත්තම කොහො­මද පොඩි නැන්දා වොෂ් එකක් දා ගන්නෙ...?”

සුනන්දා දෑතින් හිස බදා ගත්තාය.

“මට තේරෙන්නෙ නෑ අමා... ඔයත් එක්ක කොහොම ඉන්නද කියලා මට තේරෙන්නෑ... ඔයා ඇයි ඔය තරම් ‍හිතුව­ක්කාර...? ඔයාට ඇයි බැරි කියන දේ අහ­ගෙන කීක­රු­ක­මට ඉන්න...?”

නැන්ද­ණිය පිළි­බ­ඳව දයා­වක් පහළ වුවද අමාලි ඒ බවක් පළ නොක­ළාය.

“මෙතන මහ ලොකු ප්‍රශ්න­යක් නෑනේ පොඩි නැන්දා... ඔයයි තාත්තයි දෙන්නම මේ පුංචි ම පුංචි දෙයක් ලොකු කර­ගෙන දඟ­ල­නවා බොරු­වට...”

දෑත පහළ දැමූ සුනන්දා යුව­තිය දෙස බැලු­වාය.

“ළමි­ස්සි­යක් රෑ නව­යට දහ­යට ගෙදර එන එක පුංචි ප්‍රශ්න­යක් වෙන්නෙ කොහො­මද අමා...?”

“අයියෝ... මම ගියේ මගේ වාහ­නේක නෙමේනේ... පාරෙ බස් එකේ... ඉතිං තුනයි තිහේ ෂෝ එක ඉවර වෙලා බස් එකේ ගෙදර එද්දි ටිකක් රෑ වෙනවා නම්... අනිත් එක රෑ දවල් වෙන්නෙ පෘථි­වියේ භ්‍රම­ණය හින්දා. ඒකට මට කරන්න දෙයක් නෑනේ... සෞර­ග්‍ර­හ­ම­ණ්ඩ­ලය පාල­නය කරන්න පුළු­වන්ද මං ව‍ෙග් මේ ඈත පිටි­සර ගමක පුංචි කෙල්ලෙ­කුට...?”

සුනන්දා නැඟී සිටියේ යුව­ති­යගේ මුවින් ‍ෙම් දැන් පිටවූ වචන දළ කඩි රොත්තක් බවට පෙරළී සපා කෑ කලෙක මෙනි.

විදුලි පහන නොනිවා නින්දට යෑම මේ ගෙදර නීති­යක් උල්ලං­ඝ­නය කිරී­මක් බව හොඳින් දැන දැනත් ඇය ඇගේ ඇ‍ඳේ වැති­රුණා ය.

ඇය තදින් කෝප­යට පත්වූ බව වට­හා­ගත් අමාලි සිනාව මැඬ ගනි­මින් “පොඩි නැන්දා...” යි හඬ ගෑවාය.

සුනන්දා පොරෝ­නය ඇද හිස වසා ගත්තාය. මේ හිතු­ව­ක්කාර කෙල්ල සමඟ තව­දු­ර­ටත් වාද කර­න්නට ඇය සූදා­නම් නැත.

“ගුඩ් නයිඩ් පොඩි නැන්දා...” යි කීවද දෙනෙත පියා ගන්නවා වෙනු­වට අමාලි ඇ‍ඳෙන් බැස්සාය.

“යන්න යන්න.. එන්න එපා මගෙ ළඟට.”

හෙමින් සීරු‍ෙ­ව් තමා සමී­ප­යෙහි වැති­රුණු යුව­තිය පලවා හරින්න වෑයම් කර­මින් සුනන්දා අණ කළාය.

“බෑ... බෑ... මං මගේ පොඩි නැන්දා දාලා කොහෙ­වත් යන්නෙ නෑ...”

අමාලි සිය නැන්ද­ණි­යට තුරුලු වූවාය. ඒ යෞවන ස්පර්ශය විසින් මෘදු මොළොක් කර­වන ලද සිත, නෙත තෙමා දැමූ හෙයින් සුනන්දා තව කිසි­වක් නොපැ­ව­සු­වාය.

කාම­ර­යට එබී බැලූ සිරි­මාන්න එකම ඇඳක තුරු­ලුව හිඳින නැග­ණිය හා දිය­ණිය දකි­මින් සුසු­මක් හෙළු­වේය. විදුලි පහන දැල්වී තිබී­මද අමා­ලිගේ ඇඳ හිස්ව තිබී­මද කෝප­යට කරු­ණක් වුවද ඔහු නිහ­ඬව ආපසු හැරු­ණේය.

අවා­රය බැවින් ආහා­ර­යක් සොයා ගැනීම පහසු නැතත් කුරුල්ලෝ අතො­රක් නැතිව නද දෙති. තවත් දව­සක අභි­යෝ­ගය නොසැලී බාර­ගත් ලෙසින් ඒ මේ අත ඉගිළ යති. තුරක මලක් ගෙඩි­යක් නැතත් මේ අත්තටු ඇත්තෝ කුස­ගි­න්නෙන් පීඩා නොවි­ඳිති. අඹ ගස යට කුරුලු ලෑල්ලේ ඕනෑ­ත­රම් ආහාර තිබේ. ඒ කුරුලු ලෑල්ල අමා­ලිගේ අද­හ­සකි.

“සතෙ­කුට කන්ඩ ටිකක් දෙන එක කොච්චර පිනක්ද ආ?” කී සුනන්දා ඒ සත්කා­ර්ය­යට ඉත සිතින් දායක වූවාය.

“අනේ මං නං පිනක් බලා­ගෙන නෙමේ පොඩි නැන්දෙ...”

“එහෙනං?” යි අස­න්නට සුනන්දා මැළි වූවාය. දෙව­ස­රක් තිස්සේ දකි­න්නට බලා­පො­රොත්තු වූ රුවක සේයාව මැවි මැවී ගියෙන් ඇය සුසු­මක් හෙළු­වාය. දිය­ණිය කුරුලු ලෑල්ල උදෙසා වෙහෙ­සෙන්නේ ද ඒ බලා­පො­රො­ත්තු­වෙන් බව ඇයට සිතු­ණාය.

“ගුඩ් මෝනින්. කට්ටි­යට ම බඩ­ගි­නිද..? මොකද මේ මෙච්චර සද්ද කරන්නේ?”

අමාලි මිදු­ලට බසින්නේ බත් පම­ණක් නොව ගස්ලබු කැබැ­ල්ලක් ද ඔස­වා­ගෙ­නය.

“මොකද අනේ ‍ඔච්චර කෑදර...? මං නං දැකලා නෑ මෙච්චර කෑදර කුරුල්ලො ටිකක්...”

ඇය කුරු­ල්ලන් සමඟ පිළි­ස­ඳ­රෙහි පසු­වන අතරේ ඉස්තෝ­ප්පුවේ හිඳ­ගෙන සිටින සිරි­මා­න්නට තේ කෝප්පය ගෙන එන්නේ සුනන්දා ය.

“සීනි ඇද්ද අයියේ?”

ඔහු පළමු උගුර පානය කරන තෙක් රැඳී සිටින ඇය එසේ අස­න්නට ද අම­තක නොක­රයි.

“සීනි ටිකක් අඩු­වෙන් දාන එක හොඳයි..”

ඔහුගේ වියළි හඬ ඇගේ බලා­පො­රො­ත්තුව බිඳ දමයි. දෙව­ස­රක් තිස්සේ එකම හඬ වෙනස් නොවන වියළි හඬ. දෙව­ස­ර­කට පෙර ඔහු උදෑ­සන තේ කෝප්පය වෙනු­වෙන් කුස්සි­යට එන්නට පුරු­දුව සිටි­යේය. දෙන්නා දෙම­හ­ල්ලන්ගේ පිළි­ස­ඳ­රට ඉඩදී සුනන්දා ඉදල අතට ගනියි. අරු­ණා­ලෝ­ක­යෙම නැහැ­වෙ­මින් මිදුල අතු­පිල ගෑමෙන් ඇය ලබන්නේ මහත් ප්‍රීති ප්‍රමෝ­ද­යකි. අනෙක් අතට සිය සොහො­යු­රාගේ දරු පවුල තුළ තමා බාධ­ක­යක් නොඑසේ නම් කර­ද­ර­ය­කැයි යන ළතැ­වි­ල්ලෙන් ගැල­වෙ­න්නට ද ඇය අපො‍ෙ­හා­සත් වෙයි. එහෙ­යින් අඹු සැමි­යන් හට නිද­හසේ ඉන්නට ඉඩ හැර තමා වැඩක් පළක නිර­ත­විය යුතු බව නිතර හඟි­න්නට සුනන්දා වග බලා ගනියි.

“අයියා අද ටවු­මට යන­වද?”

නිහ­ඬ­වම තේ කෝප්පය හිස් කරන සොහො­යුරා පිළි­බ­ඳව හට ගත් දයා­නු­ක­ම්පාව ඇගේ ස්වරයේ තැවරී තිබිණ.

“ඇයි? මුකුත් ගේන්න තියෙ­න­වද?”

“මේ නෑ... ඒකට නං ඉතිං පොළට යන්න බැරියෑ හවස් වෙලා.”

අමාලි කැටිව පොළට යෑමට සුනන්දා පුරු­දුව සිටියි. එය වෙහෙ­ස­කර ගම­න­කැයි යුව­තිය ද කිසි විටෙ­කත් නොසි­තයි.

“බෙහෙත් මුකුත් ‍ෙග්න්න ඕනද?”

සිරි­මාන්න නැග­ණිය දෙස එක එල්ලේ බැලු­වේය. සාමා­න්‍ය­යෙන් ඔහු ඇගේ දෑස මඟ හරියි. ඇයට ඇගේ ලෝක­යක් තනා ගන්නට ඉඩ නොදී­මෙන් තමා මහත් වර­දක් සිදු කළේ යැයි ඔහු නිතර පසු­තැ­වෙයි. ඔත්ප­ළවූ මවට ඇය උප­ස්ථාන කර­න්නට ඇය ඇගේ භද්‍ර යෞව­නය කැප කළාය. හත්අට අවු­රු­ද්දක්ම ගිලන්ව හුන් මව මිය යෑමෙන් පසුව සිරි­මාන්න නැග­ණි­යට විවා­හ­යක් කර දීමට නොවෙ­හෙ­සුණා නොවේ. එහෙත් හත­ළි­ස්විය ඉක්මවූ සුනන්දා වෙනු­වෙන් තව­දු­ර­ටත් වෙහෙ­සෙ­න්නට කපුවා කැමති වූයේ නැත. ඔහු ගෙනා මංගල යෝජනා කීප­යක් ම මන­මා­ල­යාගේ අකැ­මැත්ත හේතු­වෙන් ව්‍යර්ථ විය. මනා­ල­යන් දෙදෙ­නෙකු සිරි­මා­න්නගේ සිත් නොග­ත්තේය. සුනන්දා කව­රෙ­කුට හෝ කැමැ­ත්තක් අක­මැ­ත්තක් නොදැ­ක්වූ­වාය. නෑන­ණ්ඩි­යගේ කිව යුතු තරමේ අකා­රු­ණික කමක් නැතත් ඇය හුස්ම වැටෙන ඕනෑම මිනි­හෙකු සමඟ විවාහ වන්නට හිත හදා­ගෙන සිටි­යාය. එහිලා මූලි­කව බල­පැ­වැ­ත්වූයේ සොහො­යු­රාගේ කුඩා පවු­ලට තමා හිරි­හැ­ර­ය­කැයි යන හැඟී­මය. හැකි­තාක් ඉක්මනින් විවාහ වී පිටව යෑමට ඇයට උව­මනා විය.

තේ මේසද කෑම මේස ද සූදා­නම් කිරීම අනි­වාර්ය අංග­යක් වූ සති අන්ත­යන් ගෙවී ගියේය. එය නිර­ර්ථක විය­ද­මක් බව සුනන්දා පසක් කර ගත්තේ බල­වත් වේද­නාව මැඬ ගනි­මිනි. පති­කු­ල­යක සිහි­නය සද­හට ම අම­තක කර දම­න්නට ඇය තීර­ණය කළාය.

“ආයෙ මට මන­මා­ලයෝ හොයන්න එපා අයියේ...” යි එක්තරා සිහි කට­යුතු හැන්දෑ­වක ඇය වියළි හඬ­කින් පැව­සු­වාය.

“ඇයි?”

නැග­ණිය වෙනු­වෙන් වසර කීප­යක් ම තිස්සේ විය­දම් කර­න්නට සිදු­වීම පිළි­බ­ඳව බිරි­ය­ගෙන් විරෝ­ධ­යක් එල්ල නොවීම මහත් සහ­න­යක් වූයෙන් ඔහු පරා­ජය භාර ගන්නට සූදා­නම්ව නොසි­ටි­යේය.

“මං කසාද බඳින්නෙ නෑ....”

“ඇයි?”

සොහො­යු­රාගේ විම­තිය ද කෝපය ද ගණ­න­කට නොගත් ඇය “අයියා කැමති නැත්තං මං මෙහෙ ඉන්න­වට මං මහණ වෙනවා...” යි සිය තීර­ණය දැනුම් දුන්නාය.

“කෙනෙක් මහණ වෙන්න ඕන අයි­යගෙ ගෙදර ඉන්න දෙන් නැත්තං විත­රද...” යි ඇසූ සිරි­මාන්න ශෝකී මඳ­හ­සක් මුව’ගට නංවා ගත්තේය.

“අනිත් එක මේක මගේ ගෙදර නෙමේ. අපේ ගෙදර. අපේ ගෙදර නංගිට ඉන්න බැරි නම් මටත් ඉන්න බෑ...”

ඒ කතා­වෙන් ඇය කොතෙක් නම් සැනහී ගියේ­දැයි ඔහු කිසි කලෙ­කත් වටහා නොගන්නා බව නිසැ­කය... එමෙන්ම ඇය පිටව නොයෑම පිළි­බ­ඳව ඔහු පසු­ගිය දෙව­සර මුළු­ල්ලෙහි ලැබූ සැන­සිල්ලේ තරම ඇයද නිය­මය කර­ග­න්නට අපො‍ෙ­හා­සත්ය. නව යොවුන් දිය­ණි­යක සමඟ තනිවූ පියෙ­කුට තමා­ගේම නැග­ණිය සැන­සී­මක් මෙන් ම ධෛර්ය­යක් ද වෙයි.

“නෑ අයියෙ... මේ ළමයා මෙහෙම ඉඳලා හරි­ය­යිද...”

සිරි­මා­න්නගේ දෙනෙත යොමු වන්නේ තව­මත් අඹ ගස යට රැඳී සිටින දිය­ණිය වෙතය.

“යනව නේද ඉංග්‍රීසි කෝස් එක­කට?”

“ඔය යන්නෙ....”

සුන­න්දාගේ ස්වර­යෙහි සන්තා­පය සිරි­මා­න්නට වැට­හෙයි.

“ඇයි? කොල්ලෙක් එක්ක­වත් පැට­ලි­ල්ලක් හදා­ගෙ­නද?” යි ඔහු ඇසුවේ කඩි­න­මිනි. ගිනි පුපු­රක් ‍ළය මත පති­තවූ කලෙක මෙන් ඔහුට වේද­නා­වක් දැනිණ.

“එහෙම නම් තව කමක් නෑ. ඔය වය­සෙදි ඉතිං කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු­වෙන එක පුදු­ම­යක් යැ...”

ඔහු සැන­සුම් සුසු­මක් හෙළු­වේය.

“එහෙ­නම් ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?”

“මේ ළමයා තාම හෙවිල්ල අතෑ­රලා නෑ අය‍ියෙ...”

නැව­තත් ඔහුගේ ළය රිදුම් දුන්නේය.

“ඒක එහෙම නූණා නම්නෙ පුදුම නංගියේ. එක පාර­ටම තමුන්ගෙ අම්මව අතු­රු­ද­හන් වුණාම හොයන්ඩ තමා තියෙන්නෙ ජීවිත කාලෙම...”

සුනන්දා හිස් කෝප්පය බාර ගත්තේ නොස­තු­ටිනි.

“ඔය පන්ති යනවා කිය කියා චම්පා අක්කව හොයන්න යන­වද කව්ද දන්නෙ...”

සිරි­මාන්න නැඟී සිටි­යේය.

“දුවට තියා මටත් බෑ තවම චම්පව හොයන එක නව­ත්තන්න.”

“තේරු­මක් නෑ අයියෙ... අපට දැං තියෙන්නෙ චම්පා අක්කා වෙනු­වෙන් පිනක් දහ­මක් කරන්ට...”

ඔහුගේ මුහුණ වේද­නා­වෙන් විකෘ­තව ගියේය. ළය ගිනි­පු­පුර ගිනි මැල­යක්ව ඇවි­ළෙන වග ඒ මුහුණ කියා පෑවේය.

“නංගිට පිස්සුද?” යි ඔහු මහ හඬින් ඇසු­වේය.

ලබන සතියට‍...



from silumina sithmalyaya

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();