ජනතාවගේ ඉඩම් නිරාකරණය කිරීමට ඉවහල් වන මිනින්දෝරු කටයුතුවලට නව තාක්ෂණය ගෙන ඒමට රජය විශාල වැඩකොටසක් සිදුකර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නිකවැරටිය ජනතාවට ඔප්පු ලබාදීමේ උත්සවයට එක්වෙමිනි. නිකවැරටිය, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඊයේ (01) පැවැති උත්සව සභාව ඇමැතූ අගමැතිවරයා මෙසේද කීය.
අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වලට ඔප්පු ලබාදීමේ උත්සවය පැවැත්වෙනවා. මේ සඳහා උනන්දුවෙන් වැඩකරන ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාට මම ස්තූතිවන්ත වෙනවා. ඉඩම් අමාත්‍යාංශයේ වැඩ පටන්ගත්තු දවසේ සිට එතුමා අහිංසක ජනතාවගේ ඉඩම්වලට අයිතියක් ලබාදෙන්න විශාල උත්සාහයක් ගත්තා. එතුමා අපේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මෙහෙයවන අතරතුර ඉඩම් අමාත්‍යාංශයේ වැඩකටයුතු වැඩිදියුණු කරන්න, ඉඩම් අමාත්‍යාංශය ජනතාවට විවර කරන්න විශාල මහන්සියක් ගත්තා.
ජනතාවගේ ඉඩම් නිරාකරණය කරන්න, මිනින්දෝරු වැඩකටයුතු සඳහා නව තාක්ෂණය ගෙන එන්න මෙම රජයෙන් විශාල වැඩකොටසක් කර තිබෙනවා. මෙම රජයේ අධ්‍යාපන ඇමැතිතුමා අධ්‍යාපනය දියුණු කිරීමට විශාල වැඩකොටසක් කර තිබෙනවා. අද දිවයිනේ සෑම පාසලකම සිසුන්ට සම වරප්‍රසාද ලැබී තිබෙනවා. විදුහල්පතිවරු පත්කරන්නේ සුදුසුකම් මත. මෙතෙක්කල් නොසුදුසු අයයි විදුහල්පතිවරු වුණේ. ක්‍රීඩා ගුරුවරු, තාක්ෂණික ගුරුවරු විශාල ප්‍රමාණයක් බදවාගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රදේශයේ විශාල වෙළෙඳ කලාපයක් ඉදිවෙමින් තිබෙනවා. එයින් රටට විශාල දියුණුවක් ලැබෙනවා.
අපේ පැරණි බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම මම භාරදී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාටයි. එතුමා ඒ වෙනුවෙන් විශාල සේවයක් කර තිබෙනවා. පැරණි ටැම්පිටිය, නුවර විහාරස්ථාන වල අපේ ආගම, ධර්මය සිංහල මිනිසුන්ගේ ඉතිහාසයත් දෙකම සම්බන්ධ වෙලා තියන තැනක්. ඒවා ආරක්ෂා කිරීම මෙම සංවර්ධන වැඩකටයුතු වලට ප්‍රථමයෙන් කළ යුතුයි.
මේ ඉඩම් අයිතිය ලබාදෙන එක වැදගත් කාරණයක්. මෙම ඉඩම්ලාභීන් මත තමයි රටේ ආර්ථිකය රැදිලා තිබෙන්නේ. 1931 ඩී. එස්. සේනානායක මැතිතුමා පටන්ගත්තා ජනසවි යෝජනා ක්‍රම, පැරණි වාරි යෝජනා ක්‍රම, පැරණි ගල් ඔය වැනි ව්‍යාපෘති ආරම්භ කළා. ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබාදුන්නා. මේවා අපි කාලයක් කරගෙන ගියා. 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි වයාපාරය පටන්ගත්තා. ඒ මගින් විශාල වැව් හැදුවා. විජය රජ්ජුරුවන්ගේ කාලයේ සිට වැඩියෙන්ම වැව් හැදුවේ එතුමාගේ පාලන කලයේදී. ඒ නිසා රටේ වගාවට ගිය ඉඩම් ප්‍රමාණය වැඩිවුණා.
2003 මම අගමැති විදියට ඉන්නකොට පළමු වතාවට අපි හාල්වලින් ස්වයංපෝෂිත වුණා. ඒක කළේ අපේ ගොවි මහතුන්. දැන් ඒ ගොවිතැන නවීකරණය කරන්න ඊළග අයවැයේදී විශේෂයෙන්ම සහනාධාර හා දිරිගැන්වීම් ලබාදෙනවා. බොහෝ දෙනකුට ආණ්ඩුවේ ඉඩම් ලැබුණාම ඔප්පුවක් නෑ. කොළ කෑල්ලක් විතරයි තියෙන්නේ. සමහරවිට නිලධාරීන් තීරණය කළොත් මේ ඉඩම ඉවත් කළ යුතුයි කියලා ඉඩමත් නැති වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන යුතුකමක් අපේ රට වී වලින් ස්වයංපෝෂිත කරපු ගොවිජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබාදීම.
ඩී. එස්. සේනානායක මැතිතුමා දකුණු පළාතේ කුඩා තේ වතු පටන්ගත්තා. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ එම ප්‍රමාණය තවත් වැඩිකළා. ඒ නිසා අද අපි අපනයන කරන තේ වලින් සියයට 60 ක් එන්නේ කුඩා තේ වතු හිමියන්ගේ තේ වලින්. ඒ අයගේ ශ්‍රමයෙන් මෙම වැඩකටයුතු කරන්න ආණ්ඩුවේ ඉඩම් දුන්නා. ඒ අයටත් ඔප්පු නෑ. හාල්වලින් ස්වයංපෝෂිත කරපු, තේ අපනයනය වැඩිකරපු මේ කාටවත් ඉඩමේ ඔප්පුවක් අපි ලබාදීලා නෑ. ඒ නිසා ඒ අයට ඉඩමේ හිමිකම ලබාදීම අපගේ යුතුකමක්.
රබර්වලටත් කුඩා රබර්වතු හිමියන් කියල කොටසක් ගෙනාවා. ඒ අය ගොඩාක් තරගකාරීව වැඩකරනවා. අපි ඒ අයගේ ඉඩම් ගැටලුවට විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා. අපගේ යුතුකම අපි දිගින් දිගටම කරගෙන යනවා. එම වැඩසටහනේ එක් අදියරක් අද නිකවැරටියේදී පැවැත්වෙනවා.
ඒ එක්කම මේ රටේ නිවාස ප්රශ්නය විසඳන්න ප්‍රේමදාස ජනාධිපතිවරයා නිවාස හදන්න ගම් උදාවන් තියලා නිවාස දෙන්න පටන්ගත්තා. ඉඩම් දුන්නා, ඉඩම් දුන්නු අය තමුන්ගේ මහන්සියෙන්, කැපවීමෙන් ගෙයක් හදාගත්තා. නමුත් ඔවුන්ට ඉඩමේ හිමිකම ගැන කොළ කෑල්ලක් විතරයි තිබුණෙ. කොළ කෑල්ල වෙනුවට අපි අද නීත්‍යානුකූල ඔප්පු ලබාදෙනවා. ඒ වගේම ලබාදෙන සියලුම ඔප්පු සින්නක්කර නීතිය අනුව ලබාදෙන්න ක්‍රියාත්මක කරන නීතිය ළඟදීම අපි ගේනවා.
රටේ ආර්ථිකයට මූලික අඩිතාලම දාන ගොවි මහතුන් සියල්ලටම ඉඩමේ අයිතිය ලබාදෙනවා. තව ලක්ෂ 15ක පිරිසකට ඉදිරියේදී අයිතිය ලැබෙනවා. සෑම කෙනකුටම නිවසක, ඉඩමක, බැංකු ගිණුමක අයිතියක්, කොටස් අයිතියක්, කුඩා වයාපාරයක අයිතියක් අමෙරිකාවේ වගේ ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
අධ්‍යාපන අයිතිය ඇතිකරල තිබෙනවා. දරුවන් රක්ෂණය කර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල කරල තිබෙනවා. සෞඛ්‍ය අයිතිය හැමකෙනකුටම ලබාදී තිබෙනවා. අද වන විට ස්ටෙන්ස් වගේ මිල අධික ඖෂධ අද නොමිලේ ලබාදී තිබෙනවා, බෙහෙත් මිල අඩු කරල තිබෙනවා, රෝහල් ඇතිකරල තිබෙනවා, පානීය ජලය දෙනවා, 1978 ඉදන් විදුලි බලය දුන්නා, සෑම කෙනෙකුටම දුරකථනයක් අද වන විට තිබෙනව. එක්සත් ජාතික පක්ෂයේ අපි පිළිගන්න සමාජය වැඩවසම් සමාජයක් නෙමෙයි. එදා අද ගොවීන්ට අද ඉඩම් අයිතිය තිබෙනවා. අන්න ඒ අයිතිය ලබාදීමේ විප්ලවය අපි කරල තිබෙනවා.
අද සෑම කෙනකුටම බැංකු ගිණුමක් තිබෙනවා. අන්න ඒ වෙනස ඔබ සියලුම දෙනාට ලැබිල තිබෙනවා. ඒදා එම වෙනස තිබුණෙ නෑ. අපේ මූලික ප්‍රතිපත්ති වන්නේ සෑම කෙනෙකුටම ප්රජාතන්ත්රවාදය, තරගකාරී ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය යන අයිතින් ලබාදීමයි. දැන් ප්රජාතන්ත්රවාදී අයිතිය ලබාදී තිබෙනවා, අධිකරණය ශක්තිමත් කර තිබෙනවා. තරගකාරී ආර්ථිකයක් ඇතිකර තිබෙනවා.
අපි 2015 ණය බරින් මිරිකී තිබූ ආර්ථිකයක් අතට ගත්තා. තාම ණය ගෙවනවා. අපිට වැඩිම විදේශ ණය ගෙවන්න තිබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් මිලියන 5600ක් තිබෙනවා ගෙවන්න. මෙම ප්‍රශ්නත් මැද ආර්ථික දියුණුවක් ඇතිකිරීමට යහපාලනයට පුළුවන් වෙලා තිබෙනවා. ආර්ථික දියුණුවේ ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල ප්‍රදේශයට අධිවේගී මාර්ග එනවා. බිංගිරිය වෙළෙඳ කලාපය එනවා. කුරුණෑගල විශාල ටවුමක් ඉදිවෙනවා. මෙම දියුණුවේ වාසිය සෑම කෙනකුටම ලැබෙනවා.
අධ්‍යාපන අයිතිය, දේපළ අයිතිය, විදුලිබල අයිතිය, දුරකථන අයිතිය, පානීය ජල අයිතිය, අද සෑම කෙනකුටම ලැබෙනවා. කතානායක කරූ ජයසූරිය මහතා එක පෑන් පාරෙන් අත්සන් කළාම රටේ ජනතාවට නොලැබුණු තමන්ට හිමි ඉඩම් අයිතිය ලබාදෙන්න පුළුවන්. එම වැඩසටහන තමයි දැන් අපි මේ කරමින් සිටින්නේ. ප්රජාතන්ත්රවාදී සමාජ සාධාරණ වැඩපිළිවෙළක් ඔස්සේ තමයි අපි මේ රටේ දුප්පත්කම නැතිකරන්නේ.
කටවුට්, බෝඩ් දාලා හැමදාම රූපවාහිනියේ තමන්ගේ මූණ දාලා රටේ ආර්ථිකය හදන්න බැහැ. බැහැල කරන්න ඕනේ. බැණුම් අහන්න අවශ්‍යයි, ඉවසීම තියෙන්න අවශ්‍යයි. එතකොට තමයි මේ රට දියුණු කරන්න පුළුවන්.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, නලීන් බංඩාර, හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉදුනිල් අමරසේන, ජේ. සී. අලවතුවල යන මැති ඇමැතිවරු ඇතුළු රාජ්‍ය අංශයේ පිරිසක් සහභාගී වූහ.
අසේල ලියනගේ
ඡායාරූප හිරන්ත ගුණතිලක
0 Comments