පාසල් ගැහැනු දරුවන්ට රජයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් ලබාදෙන හියුමන් පැපිලෝමා වෛරස (HPV) එන්නත කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික මට්ටමේ පාසල්හි දරුවන්ට ලබා නොදීම නිසා අනාගතයේදි ගැබ්ගෙල පිළිකා රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
මේ එන්නත පාසලේදි තම දියණියන්ට ලබාදෙන ලෙස මවුපියන්ගෙන් ඉල්ලීමක් පැවතියත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ විදුහල්පතිවරුන්ගේ දායකත්වයක් නොමැතිකම නිසා වයස අවුරුදු 11 සම්පූර්ණ වන දියණියන්ට ලබාදීමට නොහැකිව ඇති බව ද ඒ මහත්මිය පැවසුවාය.
මේ හේතුව නිසා අනාගතයේදි ගැබ්ගෙල පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බවත් පාසල්වලින් එන්නත ලබා ගැනීමට නොහැකි වන දියණියන්ට සෙනසුරාදා දිනයන්හි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබා ගත හැකි බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහත්මිය මේ බව ඊයේ (01) පැවසුවාය.
ගැබ්ගෙල පිළිකා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර දෙවැනියට බහුලවම වාර්තා වන පිළිකාව වන්නේයැයි ද, මේ පිළිකාව හට ගනුයේ පිළිකා කාරක හියුමන් පැපිලෝමා වෛරස ආසාදනය දිගුකාලීනව ගැබ්ගෙල ආශ්‍රිතව පැවැතීම නිසා යැයි ද ඒ මහත්මිය අවධාරණය කළාය.
වයස අවුරුදු 10 - 11 අතර ගැහැනු දරුවන්ට පාසලේදි මේ එන්නත මාත්‍රා දෙකකින් ලබාදෙන බවත් වෛරසය ලබා ගැනීමෙන් පිළිකා රෝගය වැළඳීම පාලනය වන බවත් ඇය කීය.
සමස්තයක් ලෙස පිළිකා රෝගීන් වාර්තා වීම වාර්ෂිකව ඉහළ ගොස් ඇති බවත් වසරකට පිළිකා රෝගීන් 13,000 ක් පමණ මරණයට පත් වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසුවේය.
ගැබ්ගෙල පිළිකාව තුරන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ සඳහා එච්.පී.වී. එන්නත නිසි ලෙස ලබාදීම ඉතා වැදගත් බවත් ඒ මහතා කීය.
ජනගහනනයෙන් ලක්ෂයකට 98 ක් පිළිකා රෝගීන් වාර්තා වන්නේ යැයි ද, 19309 ක් ලෙස වසර 2008 දි වාර්තා වූ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වසර 2018 වන විට 29843 ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය. වසර 2020 වන විට මරණවලට හේතු වන ප්‍රධාන සාධකය වනුයේ පිළිකාව බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙර නිමිති පළ කර ඇති බවත් ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවට මේ වන විට පිළිකා රෝගය පත්ව ඇති බවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පැවසීය.
ඡායාරූපය - සිරිපාල හල්වල
0 Comments