Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙල්ලන්විල විමලරතන අනුනාහිමිගේ යුග මෙහෙවර

අනුරාධපුර යුගයෙහි දෙතිස්ඵල රුහ බෝධි රෝපණය සමඟ ප්‍රසිද්ධ වූ බෙල්ලන්විල ග්‍රාමවරයෙහි මෑතකාලීන චිරප්‍රසිද්ධිය ඇතිවන්නේ බෙල්ලන්විල සෝමරතන නාහිමියන් විසින් බෙල්ලන්විල රාජමහා විහාරයීය නූතන ප්‍රබෝධය ඇති කිරීමත් සමගිනි. එකී ප්‍රබෝධයෙහි ජීවමානව පැවති ධර්ම ශාස්ත්‍රීය අග්‍රඵලය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණෝ සකල ලංකා‍වාසී බොදු ජනයාට මහා පහන්ටැඹක් වූහ. දේශීය මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබමින් ද ඉන් ලද පෘථුල වූ ඥානය ආධුනික ශිෂ්‍ය ප්‍රජාව වෙත සමර්පණය කරමින් ඉමහත් ශාස්ත්‍රීය මෙහෙවරක් සිදු කළහ. එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාද්වයෙන්ම ග්‍රන්ථකරණයෙහි යෙදෙමින් අද්විතීය වූ මෙහෙවරක් සිදු කළහ. විශ්වවිද්‍යාල ධූරාවලියෙහි මහදුරු දිවිය තෙක් ක්‍රමික උසස්වීම් ලබමින් ඉනික්බිතිව කුලපති පදවියෙන් ද සම්මානිත වුවද ජීවිත පරියෝසානය තෙක් තමන්වහන්සේටම අනන්‍ය වූ සරල දිවි පෙවෙතක පිහිටා කටයුතු කිරීම බෙල්ලන්විල අනුනායක හාමුදුරුවන් ඇසුරු කිරීමට වරම් ලද අප දුටු සුවිශේෂී ලක්ෂණයකි.

තමන්වහන්සේ ශා26ස්ත්‍රෝද්ග්‍රහණය කළ විද්‍යාලංකාර ගුරු කුලයට අනන්‍ය වූ සාධනීය චර්යාවන්ගෙන් පිරිපුන් වූ මෑත කාලීන සම්බුද්ධ ශාසනයෙහි යාවත්කාලීන වූ යතිවර සලකුණක් ලෙසින් හැඳින්විය හැකි අනුනාහිමිපාණෝ රටෙහි පැනනැගි ගැටලු සඳහා අභීතව තම මතය ප්‍රකාශ කළ අතර එකී ප්‍රකාශයන්හි සාධනීයත්වය හේතුවෙන් නිකායත්‍රයෙහි ම මහා සංඝයා වහන්සේලා අතර සම්භාවනාවට පත් වූහ. අන්‍යයන්ගේ අදහස් වෙත වැඩිපුර සවන් දීමත්, අඩුවෙන් කතා කිරීමත් අප අනුනාහිමිපාණන්වහන්සේ කෙරෙන් විද්‍යමාන වූ තවත් ගුණාංගයකි. අඩුවෙන් කතාකළ අනුනාහිමිපාණෝ වැඩි මෙහෙවරක් සිදු කළේ නිහඬව ම ය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, කාරක සභික, ලේඛකාධිකාරී, ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය සහ අනුනායක ආදී තනතුරු හොබවමින් සංඝ සමාජයේ පරිපාලන කටයුතුවලට දායක වූ අනුනාහිමිපාණෝ අපවත්වීමට දෙමසකට පෙර නවකයන් හට තනතුරු දැරීමට ඉඩ සළසා දිය යුතු බැව් පවසමින් අනුනායක පදවියෙන් ඉල්ලා අස්වූයේ මෑත ඉතිහාසයේ එවැනි ශාසනික පදවියක ඉල්ලා අස්වීමක් අප දුටු එකම අවස්ථාව ලෙස සනිටුහන් කරමිනි.

දෙස බස දැය සමය උද්දීපනය පිණිස ජාතික ව්‍යාපාරයන් වෙත ස්වකීය දායකත්වය ලබා දෙමින් ‍සිටින අතර ම විහාරස්ථානයානුබද්ධ වූ සියලු කටයුතු ද නොපිරිහෙලා සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය කළහ. විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහයෝගය ලබාදෙමින් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ කටයුතු සඳහා අනුනාහිමිපාණෝ නායකත්වය ලබා දුන් අතර එකී කටයුතුවල මතු පැවැත්ම පිණිස ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමි සහ ආචාර්ය උඩුගම්පොළ හේමරතන නාහිමි යන ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා දෙනමක් ඇති කළ සේක.

මනා පෞරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි අප අනුනා සමිඳුන්ගේ උත්කෘෂ්ඨ සේවාව අගයමින් මෙලෙස අනුස්මරණය කොට තුති පිදීමට ලැබීමෙන් මෙහි ලේඛක වන මා පුණ්‍යවන්තයකු වේ යැයි සිතමි.

දෙදියගල නන්දරතන හිමි,
මහාවිහාර මහ පිරිවෙන, අස්ගිරිය, මහනුවර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();