කෘෂිකර්මාන්තය විනාශ කරන සේනා දළඹුවා මර්දනයට නම් රජය විසින් දළඹුවන් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමෙන් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසීය.
මේ දළඹු විශේෂය නිසා ගොවීන්ගේ විනාශ වන අස්වනු වෙනුවෙන් රජය විසින් නිසි පරිදි වන්දි ලබාදෙන්නේ නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මැදිහත්වී සතියෙන් සේනා වැළදුණු වගාවන් සම්පූර්ණයෙන් විනාශ කරන බවත් එමගින් සේනා ආක්‍රමණයෙන් 50%ක් පමණ මැඩ පැවැත්වෙන බව ත් දිනමිණ කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සේනා දළඹු විශේෂය බෝග 100කට හානි කරන නිසා රජය විසින් බඩඉරිඟු වගාව නතර කිරීමට ගත් පියවර නිසා අනෙකුත් බෝග සඳහා යොමුවීමේ අවදානමක් පවතින බවත් , බඩඉරිඟු සම්පූර්ණයෙන් විනාශ නොකර දළඹුවන් පමණක් විනාශ කිරීමෙන් මේ උවදුර පාලනය කළහැකි බව ඒ මහතා පැවසීය.
සේනා දළඹු ආක්‍රමණය ජාතික ගැටලුවක් නිසා මේ සඳහා සියලුම ජනතාව, රාජ්‍ය ආයතන එකතුවෙමින් ලංකාව වෙලා සිටි මැලේරියා රෝගය තුරන් කළා මෙන් සේනා ආක්‍රමණයට එරෙහිව ඉදිරියට පැමිණියයුතු බව ඒ මහතා පැවසීය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් ඉදිරිපත් කළ ඉහත කාරණා සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති පී හැරිසන් මහතා සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේද එකඟතාව ලැබී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.
කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පසුගියදා නිවේදනයක් නිකුත් කළා සේනා දළඹු ආක්‍රමණය වැළැක්වීම සඳහා බඩඉරිඟු වගාව තාවකාලිකව නවත්වන ලෙස. නමුත් අපි දකින්නේ නෑ එය මේ ආක්‍රමණය නැවැත්වීමට ගතහැකි පියවරක් කියා. මොකද සේනා දළඹුවා බෝග 100කට පමණ ආක්‍රමණය වෙනවා. දැනට බඩඉරිඟු වලට පමණයි සේනා දළඹුවා බෝවී තිබෙන්නේ. ලංකාව පුරාම සේනා දළඹු ආක්‍රමණයට ලක්ව තිබෙන බඩඉරිඟු පමණක් විනාශ කළ යුතු නමුත් අනෙකුත් අස්වනු විනාශ නොකළයුතුයි. දිවයින පුරා බඩඉරිඟු හිඟ වන විට සේනා දළඹුවා අනෙකුත් බෝග සඳහා යොමුවීමේ අවදානම වැඩියි.
බඩඉරිඟු බෝගය වගාකිරීම අත්නොහිටුවා සේනා දළඹුවා එයට පමණක් හුරු කර අනෙකුත් බෝග සඳහා යවන්නේ නැතුව උපක්‍රමයක් ලෙස තබාගැනීම කළ හැකියි. 1934 වර්ෂයේ පමණ මැලේරියා රෝගය දිවයින පුරා ව්‍යාප්ත වුණා. එය මර්දනය කිරීම සඳහා ජාති බේදවලින් තොරව, සියලුම රාජ්‍ය ආයතන, ජනාධිපතිවරයාගේ සිට මහජනයා දක්වා ඉදිරියට පැමිණිය යුතුයි. මේ සේනා දළඹුවා මර්දනය කරන්න.
සම්පූර්ණයෙන් නෙළා ගැනීමට නොහැකිවූ අස්වනුද මේ ආක්‍රමණය නිසා සම්පූර්ණයෙන් විනාශ කරනවා. මේ නිසා ගොවීන් කබළෙන් ළිපට වැටිලා ඉන්නේ. මෙය ජාතික ප්‍රශ්නයක් නිසා ගොවීන් සඳහා පිහිටුවා තිබෙන රක්ෂණ ආයතන මගින් අස්වනු විනාශ වූ ගොවීන් සඳහා වන්දි ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.
ගොවීන් සඳහා එම ඉල්ලන වන්දි ක්‍රමය නිසි ආකාරයෙන් ලබාදුන්නොත් අපි ගොවි සම්මේලනය වශයෙන් ජනාධිපතිට සහ අගමැතිට පොරොන්දු වෙනවා. සේනා ආක්‍රමණය 50%ක් සතියෙන් මැඩපැවැත්වීමට. ගොවීන්ට නිසි වන්දි ලබාදුන්නොත් අපි සතියෙන් සේනා වැළදුණු අස්වනු සියල්ල සම්පූර්ණයෙන් විනාශ කරනවා. එතකොට දළඹුවන් විනාශ වෙනවා. දළඹුවාගේ ජීවන චක්‍රය අපි අධ්‍යයනය කළා. සේනා විනාශ කිරීමට වඩාත්ම උචිත අවධිය සේනා දළඹුවා විදිහට ඉන්න අවදියේදී.
ඊට අමතරව සේනා දළඹුවා සඳහා රජය විසින් වටිනාකමක් දුන්නොත් ජනතාව මෙය මර්දනය සඳහා උනන්දු වෙනවා. ජනතාව ගෝනි පිටින් සේනා දළඹුවන් ගෙනත් දෙයි සල්ලි ලැබෙනවා නම්. මෙය සාධනීය වැඩපිළිවෙළක්. කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් මහතාද අපගේ යෝජනාවට එකඟ වුණා. කෙසේ හෝ මේ උවදුර දේශපාලන පක්ෂ, ජාති බේදයකින් තොරව අපි මැඩලිය යුතුයි.
අසේල ලියනගේ
0 Comments