ජාතික ආණ්ඩුව යනු ඇමැතිකම් වැඩිකර ගැනීමේ අරමුණෙන් කෙරෙන පටු උත්සාහයක් පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පෙරේදා (31) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිරි මැතිවරණයට පොදු සන්ධානයකින් තරග කිරීම සඳහා මේ වන විටත් කටයුතු කෙරෙමින් පවතින බවත් ඒ සඳහා වන පුළුල් සන්ධානය ඉදිරියේ දී රටට ඉදිරිපත් කරන බවත් රාජපක්ෂ මහතා පැවසීය.
එම සන්ධානය සඳහා සාකච්ඡා කරමින් පවතින බවත් එහි ව්‍යවස්ථාව සකසමින් පවතින බවත් කී රාජපක්ෂ මහතා ඒ සඳහා කමිටුවක් පත් කර වගකීම් භාර දී තිබෙන බවත් කීය.
ඒකාබද්ධ විපක්ෂය යනු පුළුල් සන්ධානයක් බව පැවසූ රාජපක්ෂ මහතා එම සන්ධානයට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වී ඇති බවත් පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ රජය මැතිවරණ කල්දමන්නේ මැතිවරණවලට බියෙන් බව පැවසු රාජපක්ෂ මහතා තමන්ගේ කාලයේ නම් කලට වේලාවට මැතිවරණ පැවැති බවත් පැවසීය.
යුද්ධය අවසන් වූ වහාම උතුර සහ නැඟෙනහිර පළාත්වල මැතිවරණය පැවැත්වීමට තමන් කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා එදා තිබුණු චෝදනාව වූයේ මැතිවරණ වැඩියි යන්න බවත් පැවසීය.
වතු කම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බවත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම ආණ්ඩුවේ යුතුකම බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
0 Comments