ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩ පන්දු ගිලිහී යෑමේ වාසිය මනාව ප්‍රයෝජනයට ගත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කැන්බරා හී මනුකා ඕවල් පිටියේ ඊයේ ආරම්භ වූ ටෙස්ට් තරගයේදී පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කිරීමට සමත් විය.
ඊයේ පළමු දිනයට තරගය නතර කරනවිට විශිෂ්ට ඉනිමක් දියත්කළ ජෝ බර්න්ස් ලකුණු 172ක් සහ කර්ටිස් පැටර්සන් ලකුණු 25ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටියහ. හතරේ පහර 26කින් ඉනිම වර්ණවත් කරගත් බර්න්ස් පන්දු පන්දු 243කට මුහුණදී තිබිණි. මේ ඔහුගේ සිවුවැනි ටෙස්ට් ශතකයයි.
පළපුරුදු වේග පන්දු යවන්නන් අහිමිවීමෙන් යොවුන් වේග පන්දු බළඇණියක් සමග ඊයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සිය තෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විශ්ව ප්‍රනාන්දු සමගින් ඊයේ ටෙස්ට් වරම් ලබාගත් චාමික කරුණාරත්න සමත් වූයේ ලකුණු 28ක් තුළ මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු දවා ගනිමිනි.
එහෙත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් උඩ පන්දු ගිලිහී යෑමෙන් කඩුල්ලේ රැදී සිටිමේ වාසනාව උදාකරගත් ජෝ බර්න්ස් සහ ට්‍රේවිස් හෙඩ් ත්‍රිත්ව ශතක සබඳතාවක් පිහිටුවමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ.
සිවුවැනි කඩුල්ලට එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කළ මේ පිතිකරුවන් යුගලයේ සබඳතාව බිඳ වැටුණේ මුළු ලකුණු 336දීය. විශ්ව ප්‍රනාන්දුගේ තෙවැනි කඩුල්ල ලෙස හෙඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට 161ක් රැස්කර තිබිණි. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඔහු පන්දු 204කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය. ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙතින් ඊයේ දිනයේදී උඩ පන්දු 4ක් ගිලිහුණු අතර ඉන් අවස්ථා 2කදීම වාසනාවන්තයා වුයේ හෙඩ් ය. ඔහු ලකුණු 87දී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුව ඩිල්රුවන් පෙරේරා අතින් ගිලිහී ගිය අතර ලකුණු 155දී පන්දු යැවූ ධනංජය ද සිල්වා අතින් අනෙක් උඩ පන්දුව ගිලිහි ගියේය.
නොදැවී පන්දුවට පහරදෙන බර්න්ස් ලකුණු 34දී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට එල්ල කළ පහර ධනංජය ද සිල්වා අතින් ගිලිහි ගිය අතර කර්ටිස් පැටර්සන් මුහුණදුන් පළමු පන්දුවෙන් දවාගැනීමට තිබූ අවස්ථාව ළහිරු තිරිමාන්න අතින් අහිමිවිය.
විශ්ව ප්‍රනාන්දු පිට පිට ඕවර 2කදී මාකස් හැරිස් සහ උස්මාන් කවාජ දවාගත් අතර සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් කඩුල්ල ලෙස මාර්නස් ලබුස්චේග්නි (6) දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්වූයේ නිරෝෂන් දික්වැල් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. හැරිස් ලකුණු 11කට චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය අතර ලකුණු ලබාගැනීමට පෙර කවාජා දැවී ගියේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙනි.
ඔස්ට්‍රේලියාවේ 11 වැනි ටෙස්ට් ක්‍රීඩාංගණය ලෙස වාර්තා පොතට එක්වූ මනුකා ඕවල් පිටියේ පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය මෙයයි.
අද තරගයේ දෙවැනි දිනයයි.
0 Comments