Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර පිලේ ආධිපත්‍යයට හෙට සී.එච්.පිලෙන් අභියෝගයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

ආබාධ හේතුවෙන් සිය ප්‍රබලතම තුරුම්පු කිහිපයක් අහිමිවූ වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජයට මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තීරණාත්මක තරගයක් හෙට (2) පෙරළිකාර සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.මේ වනවිට නිමාවට පත්වී ඇති තරග 11කින් තරග 10ක්ම ජයගෙන ලකුණු 61ක් ලබා පෙරමුණේ පසුවන මහනුවර පිලට දැඩි අභියෝගයක් එල්ල කරමින් අවසන් කණ්ඩායම් හතරේ රැඳී සිටීමට ලකුණු 45ක් ලබා තුන්වැනි තැන පසුවන සී.එච්.පිල බලාපොරොත්තු වෙයි.

මහනුවර පිලේ සුපිරි ක්‍රීඩකයන් වන ශ්‍රීනාත් සුරියබණ්ඩාර සහ ගනුක දිසානායක පොලිස් පිල සමග පසුගියදා පැවැති තරගය අතරතුර ආබාධවලට ගොදුරුවූ අතර ඔවුන්ට මේ තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමිවන ලකුණු පහළ වී තිබේ. එසේ වුවත් මෙවර තරගාවලියේ දී යුද හමුදා පිල හමුවේ පමණක් අනපේක්ෂිත පරාජයක් ලබා සිටින මහනුවර පිලට තව දුරටත් පෙරමුණ රැක ගනිමින් සුපිරි වටයේදී කුසලානය රැක ගැනීමට එය අවාසියක් නොවනු ඇතැයි වාර්තා වෙයි.

පසුගිය සතියේදී නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 63-31ක ජයක් වාර්තා කිරීමට මහනුවර පිල සමත්වූ අතර සී.එච්.පිල ලකුණු 38-25ක් ලෙස පොලිස් පිල පරාජය කිරීමට සමත්විය.

දිගින් දිගටම පරාජයේ වේදනාව අත්විඳි සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය හෙට නාවික හමුදා පිල සමග සී.ආර්.පිටියේදී තරගයට එක්වන්නේ තව දුරටත් අවසන් කණ්ඩායම් හතරේ රැඳී සිටීමේ අභිප්‍රාය ඇතිවය. පසුගිය සතියේදී යුද හමුදා පිලට එරෙහිව ලකුණු 55-33ක ජයක් වාර්තා කළ සී.ආර්.පිල නවතම ලකුණු ලැයිස්තුවේ ලකුණු 35ක් ලබා සිවුවැනි තැන පසුවන අතර හෙට තරගයට එක්වන්නේ සුපිරි හතරේ වටයට එක්වීමේ අවදානමක් කරපින්නාගෙනය. ඔවුන්ගේ ස්ථානය අත්කර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින නාවික හමුදා පිල පළමු වටයේදී දස්කම් අතර සිටියත් දෙවැනි වටයේදී මෙතෙක් ජයග්‍රහණයක් වාර්තා කිරිමට අසමත්වීමෙන් ලකුණු සටහනේ 6 වැනි තැනට ඇද වැටී සිටින්නේ සමස්ත ලකුණු 25ක් පමණක් ලබාගනිමිනි.

මේ අතර දෙවැනි වටයේදී පෙරළිකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ලකුණු 27ක් ලබා පස්වැනි තැන සිටින යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට පස්වරුවේ ගුවන් හමුදා පිල සමග වැලිසරදී තරග වදින්නේ අවසන් තරග කිහිපයේදී ජයග්‍රහණ අත්කර ගනිමින් අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ බලාපොරොත්තුවෙනි. ලකුණු 9ක් පමණක් ලබා ලකුණු සටහනේ අවසන් තැන රැඳී සිටින ගුවන් හමුදා පිලේ අරමුණ වී ඇත්තේ මෙතෙක් ලැබූ එකම ජයග්‍රහණය දෙගුණයක් කරගැනීමේ අරමුණ ඇතිවය. ලකුණු58ක් ලබා සමස්ත ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අනිද්දා (3) පොලිස් ක්‍රීඩා සමාජය සමග හැව්ලොක්ස් පිටියේදී තරගයට එක්වෙයි. සමස්ත ලකුණු 22ක් ලබා 7 වැනි තැන පසුවන පොලිස් පිල මේ තරගයේදී නැවත හිස ඔසවාගැනිමට බලාපොරොත්තු වන අතර හැව්ලොක්ස් පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට බලාපොරොත්තු වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();