- ආසනයකට රුපියල් කෝටි 30ක්
- ක්‍රීඩා පිටියට ගමේ පොළට දුන් මුදල දෙගුණවෙයි
- එක වැවකට ලක්්ෂ 40ක්
- පාසලේ සනීපාරක්ෂාවට මුදල්
ගමේ, නගරයේ යැයි කිසිදු වෙනසකින් තොරව එක හා සමාන යටිතල පහසුකම් දියුණු සිදු කොට, ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්වය ඉහළ නැංවීමෙන් මුළු රටම අලුත් සංවර්ධන සංග්‍රාමයකට සූදානම් කරන ‘ගම්පෙරළිය’ කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන නවාංග සමඟ ඉකුත්දා යළිත් ආරම්භ කෙරිණි.
එක් ඡන්ද කොට්ඨාසයකට රුපියල් මිලියන 300ක් බැගින් කොට්ඨාස 160ක් සඳහා මිලියන 48,000ක් වැනි දැවැන්ත මුදලක් ලබා දී, අංශ 12ක් යටතේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල දියුණුව ඇති කිරීම මෙහි අරමුණයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රධාන රජයේ මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (02) සවස 3.00ට කොළඹ අරලියගහ මන්දිරයේදී මේ වැඩපිළිවෙළ අලුත් හා පුළුල් කොට ජනගත විය.
ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික සංවර්ධන මාවතකට යොමු කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝග ගණනාවකට ඒ අතර ග්‍රාමීය ජනතාවගේ ආර්ථික දියුණුව ඇති කරලීමට ලබාදෙන සවිබල ගැන්වීම්වල පවතින අඩුපාඩු ප්‍රධානය. රටේ 70%කට ආසන්න පිරිසක් අදටත් ග්රාමීයව ජීවත් වෙති. මේ පිරිසගේ ජීවනෝපාය සංවර්ධනය වේගවත් නොකොට, ඔවුන්ගේ ආර්ථික හැකියාවන් ඉහළ නොනංවා රටට සමස්ථයක් ලෙස ඉහළ වර්ධනයක් ළඟා කරගත නොහැකිය.
ඒ අනුව කල්පනා කළ රජය කඩිනම් ග්රාමීයවද නගරබදව මෙන්ම යටිතල පහසුකම් ජාලයක් ස්ථාපිත කිරීමේ අපේක්ෂාවෙන් ‘ගම්පෙරළිය’ වැඩපිළිවෙළ වසර 2018 අගෝස්තු මාසයේදී ආරම්භ කරනු ලැබීය.
ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය පාදක කරගත් ජනතාවක් ජීවත් වන රටකි. රටේ කෘෂිකර්මාන්තය දියුණු නොකොට, ජනතාවගේ ආර්ථික දියුණුව ළඟා කරගත නොහැකිය. මුළු ජනගහනයෙන් 70%ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවා-ලීමට නම් ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කළ යුතුය. ඒ අනුව පෙර රජ දවස පටන් පැවත එන කෘෂිකර්මාන්තය වර්තමානයේදී පවා නොවෙනස්ව දියුණු කළ යුතුව තිබේ. අප රටේ වාරි පද්ධතියේ වැව් 32,000කට වඩා පවතියි. මේ වැව් අමුණු සියල්ල ප්‍රතිසංස්කරණය කොට, ගමේ ජනතාවට වසරේ දෙකන්නයේ වගාවට අවශ්‍ය වාරි ජලය සැපයීමට හැකිනම් එමඟින් ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් සිදු වනු නිරනුමානය. ගමේ ජනතාවට ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමේ පහසුකම් සපයා දීමෙන් පමණක් සමස්ත රටේම ආර්ථික දියුණුව ළඟා කරගත නොහැකිය. ඒ සඳහා ගොවිතැන් කටයුතුවල නව්‍යකරණයක්, ඉහළ ඵලදායිතාවක්, ප්‍රමිතිගත හා ඉහළ අස්වනු ලබන බීජ වර්ග හඳුන්වාදීමක්, පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීමක්, ගොවි ජනතාවගේ අස්වනු ජාත්‍යන්තර වෙළෙෙපොළ වෙත රැගෙන යෑමට ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. මේ කරුණු කාරණා සියල්ල සැලකිල්ලට ගනිමින් රජය මුලින්ම ගම්පෙරළිය වැඩපිළිවෙළ යටතේ ගමත්, නගරයත් අතර දැනට දුර්වලව පවතින සමීප සම්බන්ධතාව දුරස් කොට, කඩිනමින්, පහසුවෙන් මේ දෙනුවර එක් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ එක් ග්‍රාමීය මාර්ගයක් දියුණු කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දීමෙනි. නාගරික පටු මාවත් සංවර්ධනය කිරීමටද මේ හා සමාන මුදලක් ලබා දී තිබේ.
‘ගම්පෙරළිය’ වැඩපිළිවෙළ යටතේ සිදු කරන ප්‍රධාන වෙනස්කමක් වනුයේ ග්‍රාමීය මාර්ගයක් වැඩි දියුණුවට ලබාදෙන උපරිම මුදල රුපියල් ලක්ෂ 20 සීමාවට ගෙන ඒමයි. මීට පෙර මේ සඳහා ලබා දුන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලකි. ඒ අනුව මේ කටයුතුවලට ලබාදෙන මුදල 100%ක ප්‍රතිශතයකින් ඉහළ නංවා තිබේ. නාගරික පටු මාවත් සංවර්ධනය සඳහා ගම්පෙරළියෙන් මුදල් වෙන් කළේ පළමු වතාවටයි.
එපමණක් නොව ගමේ ජනතාවට ඉහළ ප්‍රවාහන පහසුකමක් ලබාදීම අරමුණින් ගමක සුළු පරිමාණ පාලමක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ගම්පෙරළිය යටතේ අලුතින්ම ලබාදේ.
වසර 2018 ඇරඹි ‘ගම්පෙරළිය’ වැඩපිළිවෙළ යටතේ නාගරික කානු පද්ධති දියුණු කිරීමට මුදල් ලබා දී නොතිබිණි. මෙවර ගම්පෙරළියෙන් ඒ සඳහාද මුදල් දී ඇත. ඒ අනුව එක් නාගරික කානු පද්ධතියක් වැඩි දියුණු කිරීමකට රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව මුදල් වෙන් කොට තිබේ.
මුළු රටේම වල් බිහි වී තිබෙන වැව් අමුණු සියල්ල යළි ශුද්ධ පවිත්‍ර කොට වැසි ජලය රඳවාගෙන පසුව ගොවිතැනට ජලය ලබාදීමට හැකි අයුරින් වැඩි දියුණු කළ යුතුය යන්න ගොවි ජනතාව නිරන්තරයෙන්ම රජයට යෝජනා කර සිටින කරුණකි. මේ ගැන අවධානය යොමු කළ රජය එක් වැවක් ප්‍රතිසංස්කරණයට ‘ගම්පෙරළිය’ යටතේ මුලින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාදිනි. එම මුදල හෙට පටන් එක් වැවක දියුණුව ඇති කිරීමට රුපියල් ලක්ෂ 40ක් දක්වා ලක්ෂ 05ක් වැඩි කොට ලබාදීම සිදු කැරේ.
වැව් අමුණු දියුණු කිරීම, මංමාවත් සංවර්ධනය කිරීම පමණක් නොව පාසල් පද්ධතියේ පවතින ප්‍රධානම අඩුපාඩුවක් වන පාසල් සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට ගම්පෙරළියෙන් මුදල් ලබාදේ. ඒ අනුව පාසල් කැසිකිළි, වැසිකිළි අලුත් වැඩියා කිරීමකට රුපියල් ලක්ෂයක මුදලක් ද, පාසැලක අලුතින්ම එම පද්ධතියක් ඉදි කරන්නේ නම් රුපියල් ලක්ෂ 10ක මුදලක්ද ලබාදෙනු ඇත.
රටේ සෞඛ්‍ය සම්පන්න, සමබර මානසික හා කායික සුවතාවෙන් යුතු ළමා පරපුරක් බිහි කිරීමට නම් කුඩා කල සිටම ඔවුන්ට ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීමේ අවස්ථාව සලසාදිය යුතුයි. ඒ අනුව පාසල් ක්‍රීඩාපිටි හා ඒ ආශ්‍රීත සියලු ක්‍රීඩා පිටි වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදී ඇත. මෙය මුල් ගම්පෙරළිය යටතේ ලබාදුන් රුපියල් ලක්ෂ 10ක මුදලට තවත් ලක්ෂ 10ක් අලුතින් එක් කිරීමකි. විශේෂයෙන් ළමා උද්‍යාන ඉදිකිරීමටද ‘ගම්පෙරළිය’ අලුත් වැඩපිළිවෙළ යටතේ රජය අවධානය යොමු කොට ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 30ක මුදලක් ළමා උද්‍යානයක් ඉදි කිරීමට අලුතින්ම දෙනු ලැබේ.
එපමණක් නොව, ගමේ ජනතාවගේ කෘෂි නිෂ්පාදන, කාර්මික හා සත්ව නිෂ්පාදන වැඩි මිලට අලෙවි කරගැනීම සඳහා තිබෙන ගමේ සතිපොළ දියුණු කිරීමට ලබාදෙන මුදල් රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කොට මෙවර ලබාදෙනු ඇත.
වගා කටයුතු සඳහා වගාබිම් ආශ්‍රීතව ඍජුව ජලසම්පාදන යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීම හා සුළු පරිමාණ පානිය ජල යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමට ‘ගම්පෙරළිය’ යටතේ අලුතින්ම රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දේ.
හිසට සෙවණක් නැතිව පීඩා විඳින අඩු ආදායම්ලාභීන්ට සහනයක් වීමට තාවකාලික වහල ස්ථීර වහල බවට පත් කිරීමට මුල් ගම්පෙරළිය මගින් රුපියල් ලක්ෂ 03ක මුදලක් ලබා දුනි. අලුතින් ‘ගම්පෙරළිය’ යටතේ නිවාසයේ වහල පමණක් නොව, බිත්ති කපරාදු කිරීම බිමට සිමෙන්ති දමාගැනීම සඳහාද මේ මුදල් ලබා දීමට තීරණය කොට ඇත. රටේ සියලු දෙනාටම විදුලි බලය හිමි කිරීම රජයේ දැක්මයි. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ගේ නිවාසයකටම අලුතින් විදුලි බලය ලබා ගැනීමට රුපියල් තිස්දාහසක මුදලක් ප්රදානය කිරීමද ගම් පෙරළියෙන් සිදු වේ.
යටිතල පහසුකම් දියුණු කරන අතර, ජනතාවගේ අතමිට සරු කිරීම සිදු කරන අතර, ගුණගරුක සමාජයක්ද බිහි කරගෙන යා යුතුය. ඒ අනුව ආගමික ස්ථාන දියුණු කිරීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් හා සුර්ය බලශක්තිය ලබා ගැනීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් අලුතින් ලබාදේ. ඒ අනුව ගමේ සර්ව ආගමික ස්ථාන දියුණුව ඇති වේ. ජනතාව ආගමික පරිසරය ඇසුරට සමීප කරවීම මේ යටතේ අපේක්ෂා කෙරේ.
රජය මේ ආකාරයට ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කරන අතර, ඒ වැඩසටහන් සියල්ල ගමේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන යෝජනා වීම විශේෂය.
ගමේ ජනතා යෝජනා, ග්‍රාමයේ සියලු අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට සකස් කර, ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
ඊට අමතරව එම යෝජනාවල පිටපත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත ‘ගම්පෙරළිය’ සම්බන්ධිකරණ ලේකම් කාර්යාලයට යොමු කළ යුතුය. ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් වෙන් කොට, කඩිනමින් එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දේ.
මේ වසරේ ‘ගම්පෙරළිය’ යටතේ සැලසුම් සියලු සංවර්ධන වැඩ අගෝස්තු 31 දිනට පෙර නිම කළ යුතුය. ඊට අදාළ සියලු මුදල් ගෙවිම් සැප්තැම්බර් මාසය අවසානයට පෙර කළ යුතුය.
මේ බව සඳහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් මේ වන විට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට අදාළ උපදෙස් දී තිබේ.
ඒ අනුව ඉතා සංවිධානාත්මකව රට පුරා ක්‍රියාත්මක වන ‘ගම්පෙරළිය’ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ගමේ දියුණුව නගරයේ සංවර්ධනය ප්‍රාර්ථනා කරන සියලු දෙනා සියලු වාද භේද අමතක කොට එක් විය යුතු කාලය එළැඹ තිබෙන බව අප පසක් කර සිටිමු.
from silumina
0 Comments