උස්ව වැඩුණු ඉන්දීය විලෝ තුරු දෙපෙළ මැදින් ඇවිද ගොස් අපි නිදහස් චතුරශ්‍රයට පිිවිසියෙමු. මීට වසර ගණනාවකට පෙර තිබුණාට වඩා දැන් එපෙදෙස වෙනස්ය. අප රට ඉංග්‍රීසීන්ගෙන් නිදහස් වීම සංකේතවත් කරමින් ඉදි කෙරුණු නිදහස් මන්දිරය කොළඹ නගරය හඳුන්වා දෙන්නට යොදාගත හැකි එක්තරා ස්මාරකයක් බඳුය. නිදහස් චතුරශ්‍රයෙහි ස්ථාපිත නිදහස් මන්දිරයත්, අදටද වැඩි කතාබහකට ලක් නොවන නිදහස් කෞතුකාගාරයත් පිළිබඳ තතු-විත්ති සොයා බලනු වස් හෙටට යෙදෙන 71 වන ජාතික නිදහස් දින සැමරුම මනා නිමිත්තක් සපයයි.
* තිස් වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් උදෙසා වෙනම අංශයක්
* කැප්පෙටිපොළ රාජද්‍රෝහියකු කළ ගැසට් නිවේදනයේ පිටපතකුත් මෙහි තිබෙනවා
* ජාතික වීරයන්ගේ උඩුකය ප්‍රතිමා 27ක්
* ප්‍රථම නිදහස් උලෙළේ එසවූ ජාතික කොඩියේ ඡායාරූපයක්
1948 පෙබරවාරි 04 වැනිදා පැවැත්වුණු නිදහස් උලෙළ දැනට නිදහස් මන්දිරය පිහිටි හිස් භූමියේ තාවකාලික ගොඩනැඟිල්ලක අති-උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඪත්වය විදහා පාන අලංකාර සැරසිලි රැසකින් එම ගොඩනැඟිල්ල විචිත්‍රවත් කරමිනි. මේ ස්ථානයේ දැන් පවතින නිදහස් මන්දිරය ඉදි කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා අතින් මුල්ගල තැබුණේ 1949 පෙබරවාරි 04 වැනිදා ය.
එහි නිදන් වස්තු තැන්පත් කෙරුණේ එවකට මංමාවත් ඇමැති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිඳු අතිනි. මෙහි ඉදි කිරීම් සිව් වසරක් මුළුල්ලේ සිදු වූ අතර, 1953 පෙබරවාරි 04 වැනිදා නිදහස් මන්දිරය විවෘත කෙරිණි.
ඓතිහාසික මහනුවර මඟුල් මඬුව අනුව යමින් ඍජුකෝණාස්රාකාර හැඩයෙන් ගොඩනැංවුණු නිදහස් මන්දිරය, මධ්‍යයෙහි විශාල ශාලාවකට ඉඩ තබා දෙපසට කුලුනු පේළි දෙක බැගින් පේළි 4ක් වන අන්දමට සම්පූර්ණ කුලුනු 60කින් සමන්විතව ඉදි කර ඇත. මහනුවර මඟුල් මඬුවේත්, ඇම්බැක්කේ දේවාලයේත් දැව කණුවල ඇති අගනා කැටයම් බඳු සතරැස් කැටයම් මුහුණත් 240ක් මේ කුලුනුවලද දක්නා ලැබේ.
ඊට අමතරව මෙහි ඉහළ ඇතුළු බිත්ති බෞද්ධ ඉතිහාසයේ සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් අවස්ථා නිරූපණය කෙරෙන රූපරාමු 28කින් යුක්තය. මෙහි මැද වේදිකාවක සිට සිව්දෙසට මුහුණ ලා සිටින සිංහ රූප 4ක් දිස් වන්නේ යාපහුවේ සිංහ රූ සිහි ගන්වමිනි. නිදහස් මන්දිරය වට කරමින් සතර දිශාව බලා පේළියට හිඳ සිටින සිංහ රූප 60ක් නිර්මාණය කර ඇති අතර, මේ සියල්ලට මැදින් නිදහස් මාවතට මුහුණ ලා ප්රතාපවත් ලෙස නැඟී සිටින්නේ ඩී.ඇස්. සේනානායක මැතිතුමාගේ ප්‍රතිමාවය.
නිදහස් කෞතුකාගාරය
නිදහස් මන්දිරයේ යටි මහලේ ක්‍රිපූ 6 වැනි සියවසේ සිට 1972 දක්වා නිදහස් අරගලයේ යෙදුණු වීරයන් පිළිබඳ වටිනා තොරතුරු සහ ස්මාරක සිහිවටන රැසක් තැන්පත් කර තිබෙන නිදහස් අනුස්මරණ කෞතුකාගාරය පිහිටියේය. 2008 පෙබරවාරි 04 වැනිදා -එනම්: ශ්‍රී ලංකාවේ 60 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ස්ථාපනය කරන ලද මෙය කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කෞතුකාගාර 11න් එකක් ලෙස හැඳින්වීමට පිළිවන් වුවත්, නිදහස් මන්දිරයට පැමිණ නිදහසේ සුව විඳින බොහෝ දෙනකුගේ අවධානය තවමත් මීට යොමුව නැත.
කෞතුකාගාරයට පිවිසෙන විටම අපට හමු වන්නේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබිඹු කෙරෙන ස්මාරකයකි. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන්ට අයත් දරුදැරියන්ගෙන් සැදුම් ලත් මේ ස්මාරකයේ ආගමික ලාංඡනද සටහන් කර තිබීමෙන් ජාතික හා ආගමික සංහිඳියාව විදහා දැක්වේ. ඉන් අනතුරුව දකුණු පසින් පිහිටා ඇත්තතේ අනුරාධපුර යුගයේ සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික, ආගමික, සංස්කෘතික උන්නතිය හා මානව නිදහස උදෙසා ඇප-කැප වූ විරුවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු, කෞතුක භාණ්ඩ, සමරු සටහන් ඇතුළත් කුටියයි.
පණ්ඩුකාභය රජුගෙන් ඇරඹෙන අනුරපුර යුගයේ ප්‍රධාන රජවරුන් විසිදෙනකුගේ ජාතික මෙහෙවර ගැන තොරතුරු, අනුරාධපුර රාජධානියේ බිඳවැටීම සහ චෝල ආක්‍රමණ, මහා විජයබාහු රජු පොලොන්නරු රාජධානිය ස්ථාපිත කිරීම, පොලොන්නරු යුගයේ ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික මෙහෙවරක් කළ මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි රජවරුන් පිළිබඳ වටිනා තොරතුරු මෙහි ප්‍රදර්ශිතය.
ජාතික වීර පිළිරූ
මේ කුටියට ඇතුළු වන විට එක්වරම දෙනෙත් යොමු වන ශ්‍රී ලංකාවේ ජාතික වීරයන්ගේ උඩුකය ප්‍රතිමා 27කි. කැප්පෙටිපොළ නිලමේ, වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වැනි ජාතික සටනට උර දුන් ජන නායකයන්ගේද මිගෙට්ටුවත්තේ ගුනන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වැනි බෞද්ධ සංස්කෘතික පුනරුදයට පණ දුන් සුසිල්වතුන්ගේද උඩුකය ප්‍රතිමා මෙයට අයත්ය.
පශ්චාත් පොලොන්නරු යුගයේ කැපී පෙනෙන නරපතීන් වන දෙවැනි පරාක්‍රමබාහු සහ සවැනි පැරකුම් රජුන් පිළිබඳ සටහනින් පසු මෙරට සිදු වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ සහ මහනුවර යුගය පිළිබඳ තොරතුරු ඇතුළත් මෙහි ශ්‍රී ලංකාව යටත්විජිතයක් බවට පත් කළ උඩරට ගිවිසුමේ පිටපතක්ද දැකගත හැකිය. ජෝන් ඩොයිලි තැබූ සටහන්, කැප්පොටිපොළ රාජද්‍රෝහියකු ලෙස ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය වැනි වටිනා ලිපි-ලේඛනවලින් නිදහස් අනුස්මරණ කෞතුගාරය සමන්විතය.
දුර්ලභ ලිපි ලේඛන
ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත්විජිතයක් වූ පසු බහුජන සංවිධානවල එක්සත්කම මඟින් නිදහස කරා සිදු කළ අරගලයේ තොරතුරු ඇතුළත් පත්‍රිකා, පුවත්පත් පමණක් නොව ජාතික සංගමයේ වාර්තා පවා මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙන්නේ ඒවායේ තිබෙන ජාතික අගය නිසාය.
කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වාර්තා, ඩොනමෝර් කොමිෂන් සභා වාර්තා ආදියේ පිටපත්, ශ්‍රී ලංකාවට නිදහස ලැබූ දින හමුදා උත්තමාචාරයේ සහ නිදහස් උත්සවයේ ඡායාරූප, ප්‍රථම නිදහස් උලෙළේ එසවූ ජාතික කොඩියේ අනුරුවක්, ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ඡායාරූප, සෙනට් මණ්ඩලයේ සහ ප්‍රථම අගමැතිමා හා අමාත්‍ය මණ්ඩලයේ ඡායාරූප වැනි දුර්ලභ සේයාරූ රැසක් මෙහිදී නැරඹිය හැකිය.
“1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ලැබුණේ අර්ධ නිදහසක්. 1972 මැයි 22 දා තමයි ශ්‍රී ලංකාවට පූර්ණ වශයෙන් නිදහස ලැබුණේ. ඒ නිසයි අපි 1972 ජනරජ දිනය දක්වා නායකයන්ගේ සහ රටේ පාලන තන්ත්‍රයේ තොරතුරු සහ ඡායාරූප මේ කෞතුකාගාරයට ඇතුළත් කළේ,” යනුවෙන් නිදහස් අනුස්මරණ කෞතුකාගාරයේ වැඩසටහන් සහකාර ටී.එච්. නිලන්ත ඉන්දික ප්‍රකාශ කරයි.
කෞතුකාගාරයේ වම්පසින් ඇති කුටිය වෙන් කර තිබෙන්නේ වසර 30ක් මුළුල්ලේ පැවැති යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් වෙනුවෙනි. 1983 වසරේ සිට බෙදුම්වාදීන්ට විරුද්ධව කළ අරගලවලදී මිය ගිය යුද-ගුවන්-නාවික හමුදා, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායට අයත් සියලු රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් කොට නිර්මාණය කරන ලද පුස්කොළ පොත් එකතුවක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
ඒ පුස්කොළ පොත්වල ඇතුළත් තොරතුරු නරඹන්නන්ගේ ප්‍රයෝජනය සඳහා ලිපිගොනු වශයෙන්ද සකස් කර තිබේ. එසේම එම දත්ත හා ඡායාරූප ඇතුළත් කොට පරිගණක මෘදුකාංගයක්ද සකසා තිබේ. එමඟින් අදාළ රණවිරුවාගේ තොරතුරු මෙන්ම ඡායාරූපද දැකබලාගත හැකිය.
දැනුවත් බව බොහොම අඩුයි
“ඇත්තටම මේ නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ගැන ප්‍රචාරය අඩුයි. බොහෝ දෙනා මේ ගැන දන්නේවත් නැහැ. නිදහස් චතුරශ්‍රයට දිනපතා සවස ඇවිදින්න, ව්‍යායාම කරන්න යන එන අය වත් මෙතන බිම් මහලේ පිහිටා තිබෙන කෞතුකාගාරය ගැන දන්නවාද කියලා සැකයි.
අද කාලේ සමහරුන්ට ඉතිහාසය ගැන, අපේ රට ජාතිය ගැන කිසිම උනන්දුවක් නැහැ නේ... මෙය නරඹන්න වැඩිපුරම පැමිණෙන්නේ පාසල් දරුවන්. ග්‍රහලෝකාගාරය නරඹන්න පාසල්වලින් එන දරුවන් මේ කෞතුකාගාරය නරඹන්නත් එනවා. ඒ හැර විදේශිකයන්ද පැමිණෙනවා. සාමාන්‍ය ජනතාවගේ පැමිණීම නම් අඩුයි,” යනුවෙන් නිලන්ත ඉන්දික වැඩිදුරටත් කියා සිටියි.
නිදහස් ස්මරණය කිරීම යහපත්ය. එහෙත් එය එක් දවසකට සීමා විය යුතු නැත. රටේ ආර්ථික, සමාජීය, දේශපාලනික, සංස්කෘතික නිදහස උදෙසා අරගල කළ ජාතික විරුවන් ගැන දිවි තිබෙන තුරු සිහිපත් කිරීම ශ්‍රී ලාංකික සැමදෙනාගේ යුතුකමකි; වගකීමකි. මේ නිදහස් මන්දිර පරිශ්‍රය ඒ සඳහා මනා මූලාශ්‍ර පද්ධතියකි.
ඡායාරූප - ගයාන් පුෂ්පික
from silumina sithmalyaya
0 Comments