මීට වසර 35කට පෙර එනම් 1984 වර්ෂයේ මෙරට දරුණු ත්‍රස්තවාදී යුගයක ආරම්භය සිදුවෙමින් තිබියදී චාවාකච්චේරි පොලිසියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට සූදානම්ව තිබූ දිනයක එම පොලිසියේ සිටි පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ ජීවිත බේරාගත් වීර දමිළ ජාතික පොලිස් නිලධාරී ක්‍රිෂ්ණපිල්ලේ බාලචන්ද්රම් මහතා පේදුරුතුඩුව සිය ගම්මානයේදී අභාවප්‍රාප්ත වී තිබේ.
පේදුරුතුඩුවේ පදිංචිව සිටි ඔහු පොලිස් සේවා අංක 6691 ක්‍රිෂ්ණපිල්ලේ බාලචන්ද්රම් පොලිස් විරුවා එසේ සිය සහෝදර සිංහල ජාතික පොලිස් නිලධාරීන්ගේ ජීවිත බේරාගත් අභීත පොලිස් නිලධාරියායි.
1984 වර්ෂයේ එක් දිනයක රාත්‍රියේ චාවාකච්චේරි පොලිසිය වටලා ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි ත්රස්තවාදීන් සැලසුම් කර ඇති බවට ඔත්තුවක් ලැබී තිබුණි. එම අවස්ථාව වන විට පොලිස් නිලධාරීන්ගේ ජීවිත බේරාගෙන වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට තරම් කාලවේලාවක් නොතිබුණද ක්‍රිෂ්ණපිල්ලේ බාලචන්ද්රම් මහතා කොටි ත්රස්තවාදීන්ට නොදැනෙන පරිදි ඉතාමත් සූක්ෂ්ම ආකාරයේ සැලසුමක් සකස් කර චාවාකච්චේරි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 21 දෙනා වාහනයකට නංවාගෙන කොටි බලමුළු මැදින් කෙසේ හෝ කොටින්ට හසු නොවන පරිදි අලිමංකඩ යුද හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඔවුන් සියලු දෙනාගේම ජීවිත බේරාගෙන තිබුණි.
මේ පොලිස් නිලධාරීන් පිරිස පොලිසියෙන් ඉවත්කර පැය දෙකක් ගතවීමටත් පෙර කොටි ත්රස්තවාදීන් විසින් එදින චාවාකච්චේරි පොලිසිය වටකර දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එදින මේ පොලිස් නිලධාරීන් 21 දෙනා පොලිසියේ සිටියේ නම් ඔවුන්ගේ ජීවිත සියල්ල කොටින්ට බිලිවීමට ඉඩ තිබුණි.
දමිළ ජාතික පොලිස් නිලධාරියෙකු වුවද ක්‍රිෂ්ණපිල්ලේ බාලචන්ද්රම් විරුවා සිය සහෝදර පොලිස් නිලධාරීන්ගේ ජීවිත එදා ඒ ආකාරයෙන් බේරාගෙන තිබුණි. නමුත් වසර තිහකට වැඩි කාලයක් යුද්ධයේදී තවදුරටත් විශාල සේවාවක් සිදුකර තිබුණද මේ වීර ක්‍රියා කිසිවක් සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් කාලයක් ඒ මහතා කිසිදු ඇගයීමකට ලක්කර නොමැත.
පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ බාලචන්ද්රම් පොලිස් විරුවා සිදුකළ එම ක්‍රියාව ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර රහසක් වශයෙන් පැවතුණි. එහෙත් එම කාලයේ හෝ ඉන්පසුව බාලචන්ද්රම් විරුවා සිංහල පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ ජීවිත මේ ආකාරයෙන් බේරාගත් බව කොටි සංවිධානය විසින් දැනගත්තේ නම් මේ පොලිස් නිලධාරියාගේ ජීවිතයට සිදුවන ඉරණම එල්ටීටීඊ දණ්ඩනය මත තීරණය වීමට ඉඩ තිබුණි.
බාලචන්ද්රම් මහතා විශ්‍රාම ගොස් වසර කිහිපයකට පසු ඊයේ (01) පේදුරුතුඩුව සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව උතුරු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (03) පේදුරුතුඩුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසියේ ගෞරව ආචාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතය.
0 Comments