ඊයේ 02 වැනි දිනට යෙදුණු ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙනි
ලෝක තෙත් බිම් දිනය, පරිසරයට සබැඳි ක්‍රියාකාරකම් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන සමස්ත ලෝක වාසීන්ගේම අවධානය පාරිසරික සංරක්ෂණය කෙරෙහි යොමු කළ හැකි සහ යොමු කළ යුතුම දිනයක් ලෙසට හැඳින්විය යුතුය. මෙවර ලෝක තෙත් බිම් දිනය අර්ථ ගන්වා ඇත්තේ තෙත් බිම් සහ දේශගුණික විපර්යාස යන කාලින වශයෙන් කතාබහට ලක් වන විෂය තේමාව පාදක කරගෙනය. එනම් තෙත් බිම් කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීම යනු සුවබර පාරිසරික වටපිටාවක් සහ සුරක්ෂිත ජීවිතයක් මිනිසා වෙත ළගා කර දීමක් ලෙසින්ද හැඳින්විය හැකිය.
තෙත් බිමක් යනු කුමක්ද? එහි ඇති ප්‍රයෝජන මොනවාද? තෙත් බිම් වැනසී යන ක්‍රියාකාරකම් මොනවාද? අපේ රට තුළ තෙත් බිම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද? තෙත් බිම් සුරක්ෂිත කිරීම සදහා රජය මැදිහත් විමට අමතරව අප වටා ඇති තෙත් බිම් ආරක්ෂා කරගැනීම සඳහා තමන්ට කළ හැකි දේ මොනවාද?
පරිසර පද්ධතියක් තුළ එකිනෙකට වෙනස් වු තෙත් බිම් පාරිසරික තත්ත්වයන්ගේ විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකිය. ඒවා නාමිකව වගුරු ස්වරූපයේ වනාන්තර, කඩොලාන, තලා, පිටාර තැනි, ගංගා මෝය, ඩෙල්ටා, උදම් ආදි ලෙස උදාහරණ ලෙස දැක්විය හැකිය. තෙත් බිම් බාහිර භෞතික පරිසරයට සාපේක්ෂව පහත් බිමක පිහිටා ඇත. පාංශු සැකැස්ම ජලයෙන් සංතෘප්තය. තෙත්ය. වැඩිම කාලයක් ජලයෙන් සංතෘප්ත බිමේ එම තත්වයටම අනුවර්තනය වු ශාක සහ සත්ව ප්රජාවත් ඊට අනුගත වෙමින් දින චර්යාව ගත කරයි.
පැළෑටි, පඳුරු, ගස් ආදි වූ විවිධත්වයකින් යුතු ශාක සැකැස්මෙන් සමන්විත භූමිය තුළ ජිවත් වන්නේ දේශීයව හමු වන සත්ත්ව විශේෂයන් පමණක් නොව යම් කාල පරාසයක් තුළ අපේ රටට පැමිණ නවාතැන් ගන්නා ආගන්තුක සංචාරක කුරුලු විශේෂයන්ද බොහෝමයක් ස්වකීය ගොදුරු බිම් ලෙස භාවිතයට තෝරාගෙන ඇත්තේ තෙත් බිම්ය. එබැවින් එක් රටකට පමණක් යම් තෙත් බිමක් අයත් වුවත් ඒ තෙත් බිම අයත් වන පාරිසරික කලාපය ගෝලීය වශයෙන් වැදගත්ය. තෙත් බිම් ඇසුරේ පවතින ජලචර තත්වය මත ජලය ගලා නොගොස් රැදෙමින් නිරන්තරවම පස ජලයෙන් සංතෘප්ත කරයි.
පස ස්පොන්ජියක් හා සමානය. ක්රියාකාරීත්වයද එබඳුම වේ. ජලය හිඟ කාලයේ ස්පොන්ජි තත්ත්වයේ පසෙන් අවැසි ජලය මුදාහැරීම සිදු වේ. එනම් තෙත් බිම් පාරිසරික කලාපයන්ටම ආවේණික වු ජෛව විවිධත්වයක් එවැනි පාරිසරික කලාපයන් ඇසුරේදී නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති තෙත් බිම් අතරේ සොබාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කළ තෙත් බිම් පාරිසරික කලාපයන්ද දැකගත හැකිය. එවැනි පාරිසරික කලාපයන් ආශ්‍රිතව වැසි තත්ත්වයන් සෙසු පාරිසරික කලාපයන්ට සාපේක්ෂව අඩු පරිමාණයකින් ලැබුණද ස්වාභාවික හෝ කෘත්රීමව නිර්මාණය වු කරදිය හෝ මිරිදියෙන් සමන්විත ගලා යන දිය, නිශ්චල දිය හෝ සාගර කලාපයේ නම් මීටර් 06 ක් පමණ ගැඹුරැති සීමාවේ ව්‍යාප්තව ඇති පාරිසරිත තත්වයන් මත තෙත් බිම් නිර්මාණය වීම සිදු වේ. මෙවැනි පාරිසරික කලාපයන් ජල විද්‍යාත්මකව ජෛව විද්‍යාත්මකව සහ පාංශු විද්‍යාත්මකවද වැදගත් කාර්ය භාරයක් පාරිසරික සමතුලිත තාවයට සහ සුරක්ෂිත සුවබරතාවට බෙහෙවින්ම බලපායි.
ලොව පුරා ව්‍යාප්තව ඇති තෙත් බිම්වලට සිදු වන මානව බලපෑම් කොතෙක්ද යත් තෙත් බිම්වල ආරක්ෂාව සහ සංරක්ෂණය සම්බන්ධයෙන් ගෝලීයව ක්‍රියාත්මක වීම වෙනුවෙන් ඒ හා සම්බන්ධ වන රටවල් වල වන තෙත් බිම් වර්ෂ 1971 වසරේ ඉරානයේ රැම්සා නගරයේදී පිහිටුවා ගත් රැම්සා සම්මුතිය හරහා (Convention on Wetlands/ Ramsar Convention) ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණයට අවැසි පියවර ගැනීම සිදු විය. මුල් අවදියේ රටවල් කිහිපයක් පමණක් එක් වී ජලචර පක්ෂීන් සහ තෙත් බිම් සංරක්ෂණය කිරීමේ අරමුණින් පිහිටුවාගත් රැම්සා සම්මුතිය කෙරෙහි ලෝක වාසීන්ගේ අවධානය යොමු වීම ආරම්භ වුයේ 1971 පෙබරවාරි මස 02 වැනි දින ඉරාණයේ රැම්සා නගරයේ සංවිධානය වු ජාත්‍යන්තර තෙත් බිම් සමුළුවට සමගාමීවය.
කාර්මික සංවර්ධනය හේතුවෙන් ශීඝ්‍රයෙන් සිදු වන තෙත් බිම් විනාශය අවම කිරීමට අවැසි පියවර ගැනීම සහ තෙත් බිම් හි වැදගත් කම ඉස්මතු කිරීම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ගොඩ නැඟීම, ජලජ පක්ෂීන්ගේ වාස භූමි සහ ගොදුරු බිම් සේ ක්‍රියාත්මක වන තෙත් බිම්වල අගය, තෙත් බිම්වල තිරසර භාවිතය සහ තෙත් බිම් සංරක්ෂණයේ වැදගත්කම ආදි තෙත් බිම් හා බැඳුණු කරුණු පිළිබඳ මෙවැනි සැසි වාර හිදී ගැඹුරින් අවධානයට ලක් වේ.
අදින් වසර 6000කට පෙර ස්ථීර ජනපද ගොඩ නඟාගත් අදිවාසීහු ස්වකීය මුල් ශිෂ්ටාචාර නයිල් නිම්නය, ඉන්දු නිම්නය, යුප්‍රටීස් - ටයිග්‍රීස් නිම්නය ආදි වූ තෙත් බිම් ආශ්‍රිතව ගොඩ නඟාගනිමින් ලොව ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරයන් බිහි කළහ. ජනාවාස ව්‍යාප්තියට බලපාන මූලිකම සිද්ධාන්තය වන තමන් ජීවත් වන ප්‍රදේශයේ වැසි රටාව, ජලය, භූමියේ පිහිටීම ආදී දේ පිළිබඳ සැලකිලිමත්ව ගොඩ නඟාගත් ජනපද වැසියෝ වනාන්තර, පැළෑටි, මල්, විවිධ සතුන් තමන්ගේ අවශ්‍යතාව සඳහා භාවිතයට ගත්හ.
පාරම්පරික සම්පත් මත යැපී ඔවුහු ඇළ - දොළ - ගංගා පමණක් නොව කලපු, මුහුදු, සාගර ආශ්‍රිත මසුන් ආදියද සොයමින් තම පරිභෝජනය සදහා යොදාගත් නමුදු ජනපද ව්‍යාප්ත වීමත් සමඟ අවශ්‍යතා සංකීර්ණ විය.
අපේ රටේ ඉතිහාසය පිළිබඳ ගවේෂණය කිරීමේදී ජනාවාස ගත ජනකණ්ඩායම් දෙකක් ගංගාධාර තෙත් බිම් ආශ්රතව නව ජනපද ඉදි කරගත් බවට පැහැදිලි සාක්ෂි හමුවේ. මහවැලි, මල්වතු, කලාඔය, වලවේ නදී නිම්න ආශ්‍රිතව යක්ෂ ගෝත්‍රික ජනතාව පදිංචි වී සිටි ආදී වාසී ජනපද විය. විජය කුමරුන්ගේ ලංකාගමනයෙන් ඉනික්බිතිව විජය ඇතුළු පිරිවර මල්වතු ඔය දිගේ සුදුසු තැන් සොයමින් ස්ථාන ගත වෙමින් ජනාවාස පිහිටුවා ගෙන ඇත. තමන්ගේ නිවැසි බිම් බවට පත් වු තෙත් බිම් සතු අගය වටහාගත් ඔවුහු ගොවිතැනින්, සත්ත්ව පාලනයෙන් ජීවිකාව සරි කරගත්හ. අහසින් වැටෙන එක දිය බිඳකුදු නිස්කාරණයේ මහ මුහුදට ගලා යෑමට ඉඩ නොතබමු යන පඬි වදනේ අරුත් පසක් කරලමින් ක්‍රියාත්මක වූ සිරිලක් වැසියන් වාපී නිමැවුම් කාර්යයේ නියැළුණේ වැව නමැති තෙත් බිම් පාරිසරික සංකල්පයේ හසල දැනුම ඇත්තන් බව ලෝ වැසසන් පවා මවිත කරවමිනි.
වැව නමැති වාරි සංකල්පය අප රට තුළ මුල් බැසගැනීමෙන් පසුව වැසි දියෙන් ජලය පුරවා අවශ්‍යතාව අනුව ඇළ මාර්ග ඉදි කරමින් එමඟින් විවිධ පෙදෙස් ද දියෙන් පොහොසත් කරවීය. එනම් අපේ පුංචි රට සතු තෙත් බිම් ජනපද ජල කළමනාකරණ වාපී සංකල්පයේ නියම පල භුක්ති විදිමින් රට ස්වයංපෝෂිත කරවමින් අවසන අපේ රට පෙරදිග ධන්‍යාගාර නමැති ගෞරව නාමයෙන් පවා බැබළවීමට සමත් විය.
අතීත මුතුන්මිත්තන් කෘෂිකාර්මික ජීවන රටාව තුළ ගොඩනැඟුණාවු සාමූහික සංස්කෘතික භාවිතයන් සොබාදහමට අනුකූලව තෙත් බිම් හා සමඟ දැඩිව බැඳෙමින් ජීවත් වුවත්, වර්තමානය වන විට භෞතික ජෛව සම්පත් පරිහරණය නිසා සිදු වන පරිසර දූෂණයේ අනිසි ප්‍රතිඵල තෙත් බිම් විනාශයේ පෙර මඟ ලකුණු කියාපායි. සංවර්ධනය වෙමින් පවත්නා රටකට භූමිය යනු අනගි සම්පතකි. භූමිය සීමිතය. භාවිතය අසීමිතය. නාගරීකරණ සංකල්පය හමුවේ තෙත් බිම් යනු සංවර්ධනයට බාධාවකි. ජලය ගලා නොයන, එක තැන රඳා තිබෙමින් දුගඳ හමන නිසරු බිමකි. එබැවින් තෙත් බිම් ගොඩ කර විවිධ මානව ක්‍රියාකරාකම් සදහා යොදාගත යුතු යැයි පිඹුරුපත් සැකසෙන්නේ එබඳු සිතුවිලි පෙරදැරිවය.
වර්ෂ 1990 ජූනි මස 22 වැනි දින ශ්‍රී ලංකාවද රැම්සා සම්මුතියේ පාර්ශ්වකරුවෙකු ලෙස එකතු වූ අතර ඒ යටතේ ප්රකාශනයට පත් කළ පහත සඳහන් සුවිශේෂ වූ තෙත් බිම්වල නෛතික අයිතිය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවය. සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත තෙත්බිම් පරිසර පද්ධතී ඇසුරේ ඇති ආර්ථිකමය, සංස්කෘතිකමය, විද්‍යාත්මක, විනෝදාත්මක ආදි වූ අංශයන් පිළිබඳ අවධානය යොමු කරමින් ජාත්‍යන්තර රැම්සා සම්මුතියට අයත් තෙත්බිම් පාරිසරික කලාපයන් 06ක් ප්‍රකාශයට පත් කර ඇත.
බූන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව අභය භූමිය, මාදු ගඟ අභය භූමිය, වාන්කලේ අභය භූමිය ඒ අතර වේ.
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
from silumina sithmalyaya
0 Comments