අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව, පරිසර හිතකාමී ලෙස කාබනික පොහොර හා අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවෙන නිර්දේශිත ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කර ඇති නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳපොළේ මෙන්ම විදේශීය වෙළෙඳපොළේ ද ඉහළම ඉල්ලුමක් ඇතිවී තිබේ. එවැනි නිෂ්පාදන කාබනික නිෂ්පාදනයක් ලෙස හැදින්විය හැකි අතර එම නිෂ්පාදන තුන්වන පාර්ශවයක් විසින් සහතික කළ යුතුය.
මේ වන විට මෙම කාබනික කෘෂිකාර්මික බෝග වගාව අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ඉතා සාර්ථක ලෙස සිදු කෙරෙන අතර ශ්‍රී ලාංකික කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඇමෙරිකාව, ජර්මනිය, ප්රංසය, චීනය, කැනඩාව, ඉතාලිය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාකය හා ස්පාඤ්ඤය යන රටවලින් ද වඩා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් තිබේ.
ලෝක වෙළෙඳපොළට සහතික කරන ලද “කාබනික තේ “අපනයනයේ ප්‍රමුඛයා වීමේ ගෞරවයද ශ්‍රී ලංකාව මේ වනවිට හිමිකරගෙන ඇති අතර අනෙකුත් කාබනික කෘෂිකාර්මික බෝග ලෙස හඳුන්වාදිය හැකි පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන, කෝපි, කොකෝවා, ඖෂධ පැළෑටි, කුළුබඩු, පළතුරු ,එළවළු හා ශාකසාර තෙල් ආදී නිෂ්පාදන ද මේ වන විට සිය ඉලක්ක සපුරා ගනිමින් ලෝක වෙළෙඳපොළ තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබේ. කාර්මික කෘෂිකාර්මිකබෝග අපනයන වෙළෙඳපොළ මෙලෙස දිග්විජය කරද්දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයද ඊට සුවිශේෂ හා සුවිශාල ඍජු දායකත්වයක් ලබාදීමට සමත්කම් දක්වා තිබීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවකි.
ඒ අනුව මෙම කාබනික කෘෂිකාර්මික බෝග වගාවන් හා නිෂ්පාදනයන් තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ජාතික කාබනික පාලන ඒකකය (NOCU)ද ස්ථාපනය කර තිබේ.2014 වසරේ ජුලි11 වැනි දින නිකුත් කරන ලද අංක 1870/71 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම පාලන ඒකකය පිහිටුවා ඇති අතර එමඟින් කාබනික කෘෂි බෝග වගාවන් සිදු කිරීම, එම වගාවන් ආශ්රිත නිෂ්පාදන සිදු කිරීම, සැකසීම හා අලෙවිය, රසායනාගාර පරීක්ෂණ, කාබනික නිෂ්පාදන සහතික කිරීම, එම නිෂ්පාදන ආනයනය හා අපනයනය කිරීමේ ක්‍රමවේදයන් අධීක්ෂණය සඳහා පියවර ගැනීම ආදි කටයුතු රැසක්ම සිදු කරනු ලැබේ.
කාබනික ක්ෂේත්රයේ විවිධ කටයුතුවල නිරත පරිණත විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක, ප්‍රමිති හා තත්ව පාලන කමිටු මගින් මෙරට කාබනික කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර, දේශීය වෙළඳාමේ දී මෙන්ම අන්තර්ජාතික වෙළෙදාමේදීද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම මෙම ඒකකයේ මූලික වගකීමක් වන අතර ඒ හරහා දේශීය වෙළෙඳපොළේ නිසි ප්‍රමිතියෙන් යුත් කාබනික නිෂ්පාදන ස්ථාපනය කිරීම සඳහා වන වැඩසටහන්ද ආරම්භ කර ඇත.
අපනයන වෙළෙඳපොළට පිවිසෙන දේශීය ව්‍යාපාරිකයින් මෙම කාබනික කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය සඳහා පෙළඹවීමට ද ජාතික කාබනික පාලන ඒකකය මුල් තැනක් දී ඇති අතර මෙකී ක්ෂේත්රය තුළින් අපේ රටට ඉහළම විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වීම එම පෙළඹවීම සඳහා සෘජු සාධකයක් වී තිබේ.
ඒ අනුව මෙම ක්ෂේත්රයේ කටයුතු කරන ව්‍යාපාරිකයින් හා සමාගම් මෙම පාලන ඒකකය තුළ ලියා පදිංචි කරවීමට ද කටයුතු යොදා ඇති අතර එලෙස ලියා පදිංචි වන ව්‍යාපාරිකයින් හා සමාගම් වෙත ප්රතිලාභ රැසක් ලබා දීමට ද අවශ්‍ය පියවර ගෙන තිබේ. “කාබනික“ නිෂ්පාදන හැම විටම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට හැකිවන අයුරින් නිෂ්පාදනය විය යුතු බවද මෙහිදී සදහන් කල යුතුය.
මෙම ජාතික කාබනික පාලන ඒකකයේ ලියාපදිංචිය ලබා ගන්නා ව්‍යාපාරිකයන් හා සමාගම් වෙත විශ්වාසය දිනාගැනීමට හා තහවුරු කර ගැනීමට හැකි වීම යටතේ හිමිවන ප්‍රධානතම ප්‍රතිලාභයක් වන්නේ එම විශ්වාසය දිනා ගැනීම නිසා සිය නිෂ්පාදන ඉතා පහසුවෙන් වෙළෙඳපොළ තුළ අලෙවි කර ගැනීමට ද එම ව්‍යාපාරිකයින් හා සමාගම් වෙත හැකිව හිමි වීමයි.
මීට අමතරව එලෙස ලියාපදිංචිවීම තුළ නියම කාබනික නිෂ්පාදන කරුවා වෙළෙඳපොළේ දී හඳුනා ගැනීමටත්, ආරක්ෂා කිරීමටත් හැකිවන අතර “කාබනික “නාමය සිය නිෂ්පාදන සඳහා එකතු කර ගැනීමට හැකිවීම තුළ අගය එකතු කරන ලද සුවිශේෂ නිෂ්පාදිතයෙක් බවට පත්වීමට ද ඒ අනුව හැකිවෙතැයි අපේක්ෂා වී තිබේ.
කාබනික කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයේ දී හා සැකසීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති අංක 1324 ට අනුකූලව එය සිදුකර දේශීය වෙළෙඳපොළ වෙත අලෙවියට ඉදිරිපත් කළ යුතු අතර විදේශීය වෙළෙඳපොළ වෙත එම බෝග ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ප්රමිතීන් එම නිෂ්පාදන අලෙවිය සඳහා ඉදිරිපත් වන වෙළෙඳපොළ අනුව වෙනස් වේ.
කෙසේ වුවත් එම සියලු කටයුතු මෙම ජාතික කාබනික පාලන ඒකකය මගින් නිරීක්ෂණයට ලක් කෙරෙන අතර ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක කාබනික නිෂ්පාදන දෙස් ,විදෙස් වෙළෙඳපොලට මුදාහැරීමේදී එය ඉතා පහසුවක්ද ගෙන දී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලාංකික නව ව්‍යවසායකයින් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා වන උපාය මාර්ගික සැලසුම් ද ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් සිටී.
එම උපාය මාර්ගික සැලසුම් හි එක් පියවරක් වන්නේ රටට වැඩිම විදේශ විනිමයක් හා ව්‍යාපාරිකයින්ට හා සමාගම් වෙත තවත් ඉහළ ප්රතිලාභ ලැබෙන මෙම කාබනික කෘෂි බෝග වගාවන් වෙත එම ව්‍යාපාරිකයින් හා සමාගම් පෙලඹවීමයි. ඒ අනුව මෙම කාබනික කෘෂි බෝග වගාවන් හී වැදගත්කම හා ඉන් රටට, ව්‍යාපාරවලට අත්වන ප්රතිලාභ පිළිබඳව දැනුවත් කෙරෙන සම්මන්ත්රණ මාලාවක් ද සංවිධානය වී ඇත.
එම සම්මන්ත්රණ මේ වන විට නුවර, කොළඹ, මාතර, කිලිනොච්චිය වැනි ප්‍රදේශයන්හි මේ වන විටත් පවත්වා ඇති අතර ඉදිරියේදී කුරුණෑගල, පොලොන්නරුව හා තෝරා ගත් තවත් ප්‍රධාන නගර රැසක ම එම සම්මන්ත්රණ පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ජාතික කාබනික පාලන ඒකකය අපනයන ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් වෙත මෙම කාබනික කෘෂි බෝග නිෂ්පාදන සඳහා එක්වන්නැයි ආරාධනා කරන අතර මෙකී ජාතික කාබනික පාලන ඒකකයට අදාළ රෙගුලාසි පිළිබඳව සියලුම තොරතුරු සඳහා www.srilankabusiness.com වෙබ් අඩවිය පරිශීලනයට එක්වන්නැයි ද දන්වා සිටී සිටි. තව ද ව්‍යාජ ව්‍යාජ කාබනික නිෂ්පාදන අලෙවිය පිළිබඳව තොරතුරු තම පාලන ඒකකයට නොපමාව දැනුම් දෙන්නැයිද ඔවුන් වැඩිදුරටත් දන්වා සිටී.
ජාතික කාබන පාලනික ඒකකය පිළිබඳව තවත් තොරතුරු හා විස්තර ලබාගැනීමට අවශ්‍ය නම් අංක 42, නවම් මාවත, කොළඹ 2 ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ස්ථාපිත එම ඒකකය වෙතින් හෝ 011-2300605 -11 යන දුරකතන අංක මගින් ද එම විස්තර හා තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
තවත් කොටසක් ලබන සතියේ
from silumina
0 Comments